සර්වෝදය නිර්මාතෘ වන ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පොද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී එතුමා මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
අභාවප්‍රාප්ත වනවිට ඔහු 92 වැනි වියේ පසුවිය.
1931 දී දකුණු ලකෙහි උපත ලද ආචාර්ය ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන් ද, ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද ලැබුවේය.
කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කළ ඔහු පළමු ශ්‍රමදාන කඳවුර සර්වෝදය ශ්‍රමදාන ව්‍යපාරයේ ආරම්භය සනිටුහන් කළේය.
ආරම්භයේ සිටම සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය ඔහු විසින් හඳුන්වන ලද්දේ තිරසාර සංවර්ධනය සහ සාමය සඳහා බුදුන්වහන්සේගේ මඟ අනුගමනය කිරීමක් ලෙසය. ප්‍රජාවගේ අධ්‍යාත්මික, සදාචාරාත්මක, සංස්කෘතික, සමාජයීය, ආර්ථික සහ දේශපාලන ජීවිතයේ උන්නතිය සඳහා බුදුන්වහන්සේගේ ඉගැන්වීම් යොදාගත හැකි ආකාරය ඔහු ප්‍රායෝගිකව පෙන්වා දුන්නේය.
වසර ගණනාවක් සර්වෝදය ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය ලෙස සිය සේවය අඛණ්ඩව කරගෙන යන අතර ආචාර්ය ආරියරත්නයන් ජාතිය සහ එහි ජනතාව වෙනුවෙන් කළ කැපවීම අගයන ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක් ලබා ඇත.
ඔහු 2007 දී ඉහළම ජාතික සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතින් ද, 1969 දී ප්‍රජා නායකත්වය සඳහා රැමන් මැග්සේසේ සම්මානය (පිලිපීනය), 1982 දී සාමය හා මානව යහපැවැත්ම සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් බෝඩොයින් රාජ්‍ය සම්මානයද (බෙල්ජියම), 1992 නිවානෝ සාම ත්‍යාගය (ජපානය) සහ 1996 දී මහත්මා ගාන්ධි සාම ත්‍යාගය (ඉන්දියාව) වැනි බොහෝ වූ ජාත්‍යන්තර සම්මාන ඔහු වෙත පිරිනමුනි.