පසුගිය සමයේ සිදුවූ සීනි බදු වංචාවෙන් මෙරටට සිදු වූ පාඩුව අයකර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම පිළිබඳව කමිටුව සිය අප්‍රසාදය පළ කළේය.
මෙම කරුණ මතු වූයේ පසුගියදා (08) පාර්ලිමේන්තුවේ දී පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදීය. එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා වෙනුවට තාවකාලිකව පත්වූ සභාපතිවරයා වන පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් එදින කාරක සභාව රැස්විය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් නොගන්නේ මන්දැයි කමිටුව මෙහිදී අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.
ඒ අනුව මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් ප්‍රකාශ කළේ එහි ප්‍රගතිය පිළිබඳව තමන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව යාවත්කාලීන කරමින් සිටින බවත්, නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පවතින බැවින් අදාළ තීරණයෙන් පසුව ඉදිරි කටයුතු සිදුකරන බවයි.
අනතුරුව කාරක සභාව විමසා සිටියේ අදාළ පාර්ශ්ව අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව ඉල්ලා අස්කර ගන්නේ නම් පියවරක් ගත හැකිද යන්නයි. ඒ අනුව හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් කමිටුව දැනුවත් කරන ලෙස කාරක සභාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
තිරිඟු පිටි සම්බන්ධයෙන් ආනයන අපනයන පාලන පනත යටතේ ඇති රෙගුලාසි යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ මීට පෙර පළ වූ රෙගුලාසිවලට අදාළව ඉදිරිපත් කර ඇති ගැටළු සම්බන්ධයෙන්ද මුදල් අමාත්‍යාංශය විසිනන් කමිටුව දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ද කමිටුව අවධානය යොමු කළේය.
තවද, 2023.07.21 දිනැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානයට ලක් කරන ලද 2023.07.18 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අංක 2336/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ ඇති රෙගුලාසි පිළිබඳවද මෙහිදි සාකච්ඡා කෙරිණි.
මෙහිදී තාවකාලික සභාපති ගරු පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ තිරිඟු පිටි ආනයනය සඳහා බලපත්‍රය නිකුත් කිරීම තිරිඟු පිටි ඇණවුම් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කොට ඇති සමාගම්වලට පමණක් සීමා කිරීම හේතුවෙන් වර්තමානයේදී තිරිඟු පිටි සම්බන්ධ ද්වීඅධිකාරයක් නිර්මාණය වී අති බවයි. ඒ සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග සහ ප්‍රගතිය පිළිබඳවද කමිටුව මෙහිදී විමසා සිටියේය.
ඒ අනුව, 2022 අංක 43 දරන විසර්ජන පනතේ රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රු. බිලියන 13,979 දක්වා වැඩි කිරීම මගින් රු. බිලියන 9,000 ක නැවත ණය නිකුත් කිරීම සඳහා ණය සීමාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව සහ ණය ආපසු ගෙවීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමක් ලෙස රු. බිලියන 4,222.23 සිට රු. බිලියන 13,222.23 ක් වූ වියදම් සීමාව වැඩි කිරීම සිදුවේ.