Connect with us

පුවත්

සීනි වංචාවට සම්බන්ධ සමාගම්වලින් තවමත් අදාල මුදල් අයකරන් නෑ

Published

on

මෙහිදී  විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තාවේ දක්වා ඇති පරිදි, සීනි වංචාවට සම්බන්ධ ප්‍රධාන සමාගම්වලින් නියමිත බදු අයකර ගැනීමට මුදල් අමාත්‍යාංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම පිළිබඳව රජයේ මුදල් පිළිබඳ  කාරක සභාව පසුගියදා දැඩි අප්‍රසාදය පළ කර තිබුණි.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගියදා (16) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

2020 ඔක්තෝම්බර් 13 දිනැති 2197/12 ගැසට් පත්‍රයේ දක්වා ඇති පරිදි සීනි ආනයනය සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 99.5% කින් අඩු කර තිබියදීත් අදාළ බලධාරීන් විසින් ක්‍රියාමාර්ග නොගෙනීම පිළිබඳවද කාරක සභාවේදී ප්‍රශ්න කෙරිණි. පාරිභෝගික භාණ්ඩ සඳහා බදු අඩු කිරීම හේතුවෙන්   ඇතැම් විශාල සමාගම්වලට අසාධාරණ ලෙස ප්‍රතිලාභ ලබා ගැනීම වැලැක්වීමට වගවීමේ කිසිදු පියවරක් ක්‍රියාත්මක කර නොමැති බවද කාරක සභාව අවධාරණය  කළේය.

මෙම සීනි වංචාවට අදාළ බදු අයකිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම අරමුණු කරගනිමින් එම අදාළ සමාගම්වලින් බදු එකතු කිරීමේ ප්‍රමාණයන්  පිළිබඳව  සතියක් ඇතුළත  වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කාරක සභාව නියෝග කළේය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කල කාරක සභාව  සීනි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු: 0.25/Kg සිට රු: 50/Kg දක්වා ඉහළ නැංවීම අරමුණු කරගත් බදු ප්‍රතිපත්තිය නැවත සංශෝදනය කිරීම පිළිබඳව කමිටුව සිය අවධානය යොමු කළේය.

මෙරට පාරිභෝගික ජනතාවගෙන් රුපියල් බිලියන 30  ක් අය කරගත්  මේ හා සම්බන්ද සමාගම්වලට වගකීමෙන්  තොරව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම  පිළිබඳව මුදල් අමාත්‍යාංශය කාරක සභාවේ දැඩි විවේචනයට ලක්විය.

මේ අතර  බෙදාහරින්නන්  විසින් උපරිම සිල්ලර මිල පිළිනොපැදීම පිළිබඳ ගැටළු විමසීම සඳහා කාරක සභාව හමුවට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ද කැඳවා තිබුණු අතර, ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් වැටලීම් 342 උපරිම සිල්ලර මිලට වඩා භාණ්ඩ අලෙවි කල ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට දඩ නියම කළ ද, ගැසට් පත්‍රයේ උපරිම තොග මිලක් නොමැතිවීම හේතුවෙන් තොග බෙදාහරින්නන්ට දඬුවම් කිරීමේ අභියෝග පවතින බව එම නිලධාරීහු කාරක සභාව හමුවේ  පැවසූහ.

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සහ ආනයනික මිල වැනි සාධක සලකා බලා උපරිම සිල්ලර මිලක් පැනවීම පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කරන ලෙස කාරක සභාව විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට නියෝග කළේය. තවද, තොග බෙදාහරින්නන් උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් අලෙවි කිරීම සහ වංචනික ක්‍රියාකාරකම්වල නිරත වීම සම්බන්ධයෙන් පවතින ගැටලුව විසඳීමට යාන්ත්‍රණයක් යෝජනා කරන ලෙසත් කාරක සභාව පාරිභෝගික කටයුතු අධිකාරිය වෙතින් ඉල්ලා සිටියේය.

මීට අමතරව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නියෝගයේ  අන්තර්ගතය පිළිබඳව කාරක සභාවේ අවධානය යොමුවිය. ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීම සහ විදේශ විනිමය සංචිත ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ මූලික පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සහ සමාගම් සඳහා අරමුදල් සංචලනය සහ විදේශ විනිමය ගනුදෙනු නියාමනය කිරීම සඳහා නිර්මාණය කර ඇති විධිවිධාන මෙම නියෝගයෙන් දක්වා ඇත.

නියෝගයේ දක්වා ඇති පරිදි සංක්‍රමණ දීමනාව ඇමෙරිකානු ඩොලර්  50,000 ක් ලෙස පවතින අතර තාවකාලික වීසා බලපත්‍රලාභීන් සඳහා  ඇමෙරිකානු ඩොලර් 20,000  දීමනාවක් ඇත. ශ්‍රී ලාංකික පුද්ගලයින්ට ඔවුන්ගේම විදේශීය සමාගම්වල කොටස් විකල්ප මිලදී ගැනීමට ඉඩ සලසන විධිවිධාන ඇතුළුව, පෙර ගැසට් පත්‍රයේ සංශෝධන  මහ බැංකුවේ නිලධාරීන් විසින් කාරක සභාව දැනුම් දෙන ලදී. මීට අමතරව, ලැයිස්තුගත සමාගම්වල ආයෝජනය සඳහා  ඇමෙරිකානු ඩොලර් 200,000  සහ ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා  ඇමෙරිකානු ඩොලර් 100,000 ක  ආපසු ගැනීමට පුද්ගලයන්ට දැන් අවසර ඇත.

මෙහිදී කාරක සභා සභාපතිවරයා එවැනි අඩු සංක්‍රමණ දීමනාවක් පවත්වාගෙනයාමේ ශක්‍යතාව පිළිබඳව කනස්සල්ල පළ කළේය. මෙම සීමා කිරීම් හේතුවෙන් පුද්ගලයින් හවාලා සහ ක්‍රිප්ටෝ මුදල්  (cryptocurrency) වැනි නිල නොවන මාර්ගයන් වෙත යොමුවීමේ ව්‍යාප්තිය පිළිබඳව ඔහු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. තවද, Binance වැනි විවිධ වේදිකා හරහා ශ්‍රී ලාංකිකයන් තම රුපියල් USDT ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) බවට පරිවර්තනය කර පසුව විදේශයන්හි මුදල් මාරු කිරීම හෝ ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කරන අවස්ථා පිළිබඳව නිලධාරීන් දැනුවත් දැයි සභාපතිවරයා විමසා සිටියේය. විනිමය-වෙළඳාම කරන ලද අරමුදල්වල අනුමැතිය ඇතිව, එක්සත් ජනපද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින්  ක්‍රිප්ටෝ මුදල්  (cryptocurrency)  මෑතකදී  පිළිගත් ආයෝජන වත්කම් ලෙස අනුමතකර ඇති බව  කාරක සභාව පවසන ලදී.

මේ පිළිබඳ  දනුවත් වීමක් නොමැති බවක් ඒ  සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කරන බව  නිලධාරීහු සභාපතිවරයාගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් පැවසුහ. එමෙන්ම විධිමත් මාධ්‍යන්ගෙන්  තොරව රුපියල්, ඩොලර්වලට හුවමාරු කිරීමට අවසර නොමැති බවත්, මුදල් හුවමාරුව සහ ආයෝජනය සඳහා නිල නොවන මාර්ග අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව විමර්ශනය කරන බවත් එම නිලධාරීහු  වැඩි දුරටත් අදහස් දක්වමින් අවධාරණය කළහ.

මේ අවස්ථව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී  චන්දිම වීරක්කොඩි, දුමින්ද දිසානායක, මධුර විතානගේ, සුමිත් උඩුකුඹුර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය  නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

පුවත්

බූස්සේ රැඳවියන් පිරිසක් විරෝධයක් අරඹයි

Published

on

By

බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 5දෙනෙකු බන්ධනාගාරයේ වහළය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අද (18) උදෑසන සිට මෙම රැඳවියන් විරෝධතාවයේ නිරතවෙන බව සඳහන් වෙයි.

Continue Reading

පුවත්

කොළඹ පුරපතිනිය වැඩ අරඹයි (වීඩියෝ)

Published

on

By

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.

2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පෙරේදා (16) දින තේරී පත්වූවාය.

ඇය නගරාධිපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ 26 වන පුරපතිනිය බවට පත්වුණි.

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය වේ.

Continue Reading

ඡායාරූප සටහන

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ බිහිසුණු අනතුර  (ඡායා)

Published

on

By

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණි.

අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ඡායා – Accident 1st

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved