ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතුව දේශපාලන පළපුරුද්ද සහ ජාත්‍යන්තර සම්බන්ධතා සහ වැඩපිළිවෙළක් තිබූ නිසා මේ රට ගොඩගැනිමට හැකි වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.
සාගල මහතා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා රට සම්පූර්ණයෙන් වැටිලා තිබුණු මොහොතක ඉදිරිපත් වි රට ගොඩගත් බවත් පක්ෂ භේදයෙන් තොරව සියලුම මන්ත්‍රීවරුන් ඒ සඳහා සහාය දුන් බවත් පැවසුවේය.
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා බව පැවසු සාගල මහතා,
“කොච්චර දේශපාලන පළපුරුද්දක් තිබුණත් ජාත්‍යන්තර සබඳතා තිබුණත් වැඩපිළිවෙළක් නොතිබුණා නම් අපිට ගොඩයන්න බෑ. ජනාධිපතිතුමාට වැඩපිළිවෙළක් තිබුණා. ඒ නිසා වැඩපිළිවෙළ බය නැතුව ක්‍රියාත්මක කළා. ජනතාවත් ඒකට සහයෝගය දුන්නා. ඒකයි මෙතරම් ඉක්මනින් අපිට ගොඩඑන්න හැකියාව ලැබුණේ.එදා ගෑස් නැති, තෙල් නැති, බෙහෙත් නැති අපේ රට සම්පූර්ණයෙන් වැටිලා තිබුණේ. බොහෝ නායකයෝ මඟහැරලා හිටපු වෙලාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වුණා. එතුමාට පක්ෂ භේදයෙන් තොරව සියලුම මන්ත්‍රීවරුන් සහාය දුන්නා. ඒ නිසා ඒ වේලාවේ රට වැටිලා තිබිච්ච ආගාධයෙන් ගොඩගැනීමට එතුමාට හැකියාව ලැබුණා.අපි සූදානම් වෙන්නේ අපේ රටේ අනාගතය තීන්දු කරන මැතිවරණයකට. රනිල් වික්‍රමසිංහ මහතා අපේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා. නමුත් මේ වතාවේ එතුමා ඉදිරිපත් වෙන්නේ කාගෙත් නායකයා හැටියටයි. පක්ෂයක් නැතිව ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට. අපේ පක්ෂයට එක මන්ත්‍රීකමක් පාර්ලිමේන්තුවේදී තිබිය දී පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ විශ්වාසය දිනා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබුණා. ඒ විශ්වාසය මත තමයි මේ රටේ නායකත්වයට පත්වුණේ”