Connect with us

පුවත්

හිටපු පොලිස්පති දේශබන්දුට විදෙස් ගමන් තහනම්!

Published

on

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විදේශගත වීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විදෙස් තමන් තහනමක් පනවා තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුවය.

දේශබන්දු තෙන්නකෝන් මහතා එරෙහිව මෙලෙස විදෙස් තමන් තහනමක් පනවා ඇත්තේ, 2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා මාතර වැලිගම ප්‍රදේශයේ  සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙනි.

ඒ සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය. 

2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා මාතර වැලිගම ප්‍රදේශයේ  W15 හෝටලයට සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීමක් සිදුකළ අතර ඒ පිළිබඳ ලද තොරතුරකට අනුව එම ස්ථානයට පැමිණි වැලිගම පොලිසියේ මුර සංචාරක රථයක සිටි පොලිස් නිලධාරින් පිරිසක් වෑන් රථය දෙසට ප්‍රතිප්‍රහාරයක් එල්ල කර තිබුණි.

වෑන් රථයේ සිට ප්‍රශ්නගත හෝටලයට වෙඩිතැබීම සිදුකර තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වන අතර වැලිගම පොලීසිය සිදුකළ ප්‍රතිප්‍රහාරය හමුවේ වෑන් රථයේ සිටී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා තිබුණි.

තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනා කරාපිටිය රෝහලට යොමුකළද, එහිදී පොලිස් සැරයන් උපුල් කුමාර මහතා ජීවිතක්ෂයට පත්වුණි. 

අනතුරුව පොලිස් සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් වූ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදූවු අතර වසරක පමණ කාලයකට පසු එම මරණ පරීක්ෂණයේ තීන්දුව ඉකුත් 27 වනදා ප්‍රකාශයට පත් කෙරුණි.

අදාළ තීන්දුවේ දැක්වූණේ ප්‍රශ්නගත අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් එම ස්ථානයට යොමුකිරීම නිත්‍යානුකූල නොවන ලෙස සිදුකර ඇති බවය.

ඒ අනුව පොලිස් සැරයන්වරයාගේ මරණය අපරාධයක් වන බැවින් ඊට අදාළව එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය. 

ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 4ක් යොදවා තිබේ.

ඔවුන් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර නිවස සහ ගිරිඋල්ල නිවස පරීක්ෂා කළ නමුත් ඔහු එහි සිට නැත.

මේ අතර, අද පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සඳහන් කළේ, වරෙන්තු නිකුත් කර ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟව ඇති බවය.

පුවත්

පක්ෂ අභ්‍යන්තර ගෝරි පුංචි ඡන්ද ජාතික ලයිස්තු ප්‍රමාද කරයි

Published

on

By

පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගැනීමේදී බොහෝ දේශපාලන පක්ෂවල මතුවී ඇති විවිධ ගැටලු සහ අර්බුද හේතුවෙන් සභික ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම පමාවෙමින් තිබෙන බව වාර්තා වේ.

මේ තත්වය යටතේ පළාත් පාලන ආයතන පිහිටුවීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි ද පැවසේ.

මේ ප්‍රමාදය සැලකිල්ලට ගෙන, සතියක් ඇතුළත සභිකයන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට මේවන විට දැනුම් දී තිබේ.

පළාත් පාලන ආයතන වලට පත් කෙරෙන සභිකයන් පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කළ හැකි වන්නේ මෙම සියලුම නාම ලේඛන ලැබුණු පසුව බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Continue Reading

පුවත්

වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Published

on

By

නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ අංක තහඩු වල හිඟතාවයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 28වනදා සිට මෙය තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

ඒ අනුව ලියාපදිංචි චැසි අංක දරණ මෝටර් වාහන සඳහා අංක තහඩු සහ ස්ටිකර් නිකුත් නොකරන බව සඳහන්ය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ මහතා පවසා සිටියේ, නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත් කිරීම සිදු නොකළද, ඔවුන්ට අදාළ වාහන අංකය ලබාදීමට පියවර ගන්නා බවය.

ඒ අනුව මෝටර් රථ හිමිකරුවන්ට එම අංකය පිටපත් කර, වාහනයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පවතින බව කමල් අමරසිංහ මහතා පැවසීය.

එමෙන්ම මේ පිළිබඳ පොලීසියද දැනුම්වත් කිරිමට පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ ලොකු වෙනසක්

Published

on

By

ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

අද (17) දිනයේද බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඉන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ අතර වයඹ, උතුරු – මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved