ජපන් රජයේ ණය ආධාර මත අලුතින් ඉදිකරන ලද කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani) හෙවත් නව කැලණි පාලමේ රුපියල් කෝටි 28කට අධික වටිනාකමකින් යුත් තඹ කම්බි හා ඇණ මුරුච්චි ගලවාගෙන ගොස් ඇති බවට වාර්තා වන පුවත සම්පූර්ණ අසත්‍යයක් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් මහතා පවසයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් මහතා
ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.
“බොහෝ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ නව කැලණි පාලමේ ඇණ ගලවා කෝටි 28ක පමණ පාඩුවක් සිදු වී ඇති බවත්, ගමන් කිරීමට නොහැකි බවත් ඇතුළු සාවද්‍ය ප්‍රවෘත්ති රැසක් ප්‍රචාරය වෙමින් පවතිනවා. එහි සත්‍ය තත්ත්වය වන්නේ, නව කැලණි පාලමේ සහ කටුනායක අධිවේගි මාර්ගයේ ඇතැම් ස්ථානවලට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් යම් යම් හානි සිදු කර තිබෙනවා. ඒත් ප්‍රචාරය වන ආකාරයේ කැලණි පාලමේ ඇණ ගලවා සොරකම් කිරීමක් සිදු වී නැහැ… එහි සවි කර ඇති ඇණ ගැලවීම සිදු කළ හැක්කේ විශේෂ උපකරණවලින් පමණයි. ඊට දින කිහිපයක් ගත වනවා. එය ප්‍රායෝගිකව සාමාන්‍ය පුද්ගලයකුට කළ හැකි කාර්යයක් නොවෙයි. ඒත් පාලමට යටින් ඇති පුවරු, ආරක්ෂිත කැමරාවලට සම්බන්ධ වන විදුලි රැහැන්, ජීඅයි පයිප්ප වැනි භාණ්ඩවලට හානි කිරීමක් සිදුව තිබෙනවා. ඒ අනුව කැලණි පාලමට පමණක් රු. මිලියන 6කට ආසන්න මුදලක හානියක් සිදුව තිබෙනවා.”
කටුනායක අධිවේගයට මිලියන 200ක පාඩුවක්
“එමෙන්ම කටුනායක අධිවේගි මාර්ගයේ කි.මී. 13ක් පමණ දිග කොටසක රැහැනක් ස්ථාන කීපයකින් කපා දමා ඇති බව වාර්තා වී තිබෙනවා. ඒ හේතුවෙන් එම රැහැන භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් පවතිනවා. එහි හානිය රු. මිලියන දෙසීයක් පමණ වනවා. මේ පිළිබඳව මීට පෙරද කරුණු පැහැදිලි කර තිබෙනවා. එමෙන්ම ඒ සම්බන්ධවත් මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.”
“පොලිස්පතිතුමා සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව නව කැලණි පාලමේ ආරක්ෂාවට විශේෂ පොලිස් ඒකකයක් එම ස්ථානයේම ස්ථාපනය කර තිබෙනවා. එමෙන්ම මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් පවත්වමින්, එලෙස සොරකම් කරන ලද කොටස් අලෙවි කළ ස්ථාන සහ පුද්ගලයන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට විමර්ශන කණ්ඩායම් සමත්ව තිබෙනවා. එමෙන්ම අධිවේගි මාර්ගයට සිදු කළ හානි පිළිබඳවත් සැකපිට කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිළිබඳ තවදුරටත් විශේෂ ආරක්ෂක විධිවිධාන අනුගමනය කරමින් තිබෙනවා. පසුගිය සතියේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක කවුන්සිලයේදීත් මේ පිළිබඳ කරුණු සාකච්ඡා කරනු ලැබුවා. එහිදී මේ ආරක්ෂිත ක්‍රියාමාර්ග තවදුරටත් වර්ධනය කරමින් පොලිසිය මඟින් සිදු කරන ආරක්ෂක වැඩපිළිවෙළට අමතරව අවශ්‍යතාව පරිදි බාහිර ආරක්ෂක සේවාවන්ගේද සහාය ගනිමින් මෙවැනි මර්මස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙළක් සකස් කිරීමට උපදෙස් දෙනු ලැබුවා. මේ වන විටත් ඒ සම්බන්ධව කටයුතු කරමින් පවතිනවා.”
“විශේෂයෙන්ම මෙවැනි සිදුවීම් රැසක් වාර්තා වී තිබෙන්නේ පසුගිය කාලයේ වරින් වර විදුලිය සැපයුම සීමා කරන ලද කාල සීමාවේදීයි. එහෙත් ඒ පිළිබඳ තොරතුරු බාහිර පාර්ශ්වයන්ට අනාවරණය නොකිරීමට හේතුව ඒ විටත් ඒ පිළිබඳආරක්ෂක අංශ විසින් සිදු කරන ලද පරීක්ෂණවලට බාධාවක් සිදු වනු ඇති බවට පැවති සැකය හේතුවෙන්. ඒ අනුව කැලණි පාලමේ ඇණ ගලවා ඉවත් කර ඇති බවට වාර්තා වන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව මා තහවුරු කරනවා. ඉදිරියේදී මෙවැනි කඩාකප්පල්කාරි ක්‍රියා සිදු වීම වැළැක්වීමට අවශ්‍ය සියලු ආරක්ෂක විධිවිධාන මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතිනවා.”
සබැඳි පුවත්
නව කැලණි පාලමේ ආරක්ෂක කොන්ත්‍රාත්තුව රක්නා ලංකාට