Feb 21, 2018

කැබිනට් සංශෝධනය පමාවට හේතුව මෙන්න ? Featured

අද දිනයේදී සිදුකිරීමට නියමිතව තිබූ කැබිනට් සංශෝධනය දින කිහිපයකින් කල් තැබීමට සිදුව ඇතැයි ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බවත් එහි තීන්දුව බලාපොරොත්තුවෙන් යුතුව කැබිනට් සංශෝධනය පමාකර ඇති බවටත් පලවන වාර්තා සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී ඔහු එබව කියා සිටියේය.

එම පුවත් වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කල එම ප්‍රකාශකයා, සිදුකිරීමට යෝජිත ඇමති සංශෝධනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවන් සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකඟ නොවීම හේතුවෙන් කැබිනට් සංශෝධනය පමා වී ඇතැයි සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවලට විරෝධතාව දක්වා ඇති ජනපතිවරයා, අවශ්‍යනම් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන්ට නියෝජ්‍ය අමාත්‍ය ධුර කිහිපයක් පිරිනමන ලෙස දැනුම් දී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසිය.

රජය ඉදිරියට පවත්වාගෙන යෑමට කැබිනට් මණ්ඩලය මුළුමනින්ම වෙනස්විය යුතු බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරත්වයක සිටින අතර පසුගිය වර මෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි ඇමැති ධුර හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හිමි ඇමැති ධුර වශයෙන් වෙන්කර ගැනීමක් අවශ්‍ය නොවන බව ද ඔහු අවධාරණය කර තිබේ.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් බහුතරයක් ද ජනාධිපතිවරයාගේ මතයට එකඟත්වය පළකර ඇත.

රාජිත අද කියපු කතාව :

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (21) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ද කියා සිටියේ, ඉදිරියේදී සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු පසුගිය සතියේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ එම සතිය තුළ අදාළ සංශෝධනය සිදුවන බවයි. එහෙත් ඔහු අද ප්‍රකාශ කළේ බොහෝ විට මේ සතිය තුළ එය සිදුවිය හැකි බවයි.

එහෙත් එයට හදිසියක් නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top