Feb 22, 2018

'සයිටම්' සිසු -සිසුවියන් කොතලාවල ආරක්ෂක පිඨයට Featured

'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීමට ඊයේ (පෙබ 21) තීරණය විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මේ සම්බන්ධ සාකච්ඡාව පැවැත්විණි.

ඒ අනුව, ශිෂ්‍යයින් දහසකගේ පමණ සුදුසුකම් විමසා බැලීමෙන් අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මෙම තීරණයට එළඹුණු සාකච්ඡාව සඳහා නීතිපතිවරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මෙන්ම එහි වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ද සහභාගි වූහ.

Saitm
(ජායා - ඩේලිමිරර් )

මේ අතර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් කොළඹ කොටුව දුම්රියපොළ අසලදී විරෝධතා රැළියක් ද පැවැත්විණි.

සයිටම් ගැටලුව විසඳීම සම්බන්ධයෙන් පත්කරන ලද නව පුද්ගල කමිටුවේ නිර්දේශය වූයේ සයිටම් අර්බුදය විසඳීම සඳහා නව ආයතන දෙකක් පිහිටුවීම බව පසුගිය මාසයේදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් විය.

එම නව ආයතන දෙක සහ ඒවාට පැවරෙන කාර්යයන් ද එහි විස්තර කර තිබිණි.

එයින් කියවුනේ එකිනෙකින් වෙන් වූ අභිනව ආයතන දෙක වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවය.

යෝජිත නිර්දේශ අනුව මෙයින් එකක් වන්නේ සයිටම් ආයතනයේ සිටි සියලුම වෛද්‍ය සිසුන් බඳවා ගනිමින් සහ වගකීම් පවරා ගනිමින් සයිටම් අහෝසි කිරීම සඳහා ස්ථාපිත කරනු ලබන ලාභ නොලබන තාවකාලික ආයතනයකි.

සයිටම් ආයතනයේ වර්තමාන අවසන් වෛද්‍ය සිසුන් කණ්ඩායම උපාධි ලබාගත් පසුව ඊට අලුතින් සිසුන් බඳවා නොගන්නා බව ද එහි දැක්විණි.

දෙවැන්න, 2019 වසරේ පටන් සිසුන් බඳවා ගැනීම සඳහා පිහිටුවනු ලබන ලාභ නොලබන නව ආයතනයකි.

2019 වසරේ පටන් වෛද්‍ය සිසුන් බඳවා ගැනීම සඳහා පිහිටුවනු ලබන එම දෙවෙනි ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලද යුතු අතර ඒ සඳහා එම ආයතනය අවශ්‍ය අවම ප්‍රමිතීන් සපුරා ලිය යුතු බව ද අදාළ නිවේදනයේ සඳහන් විය.

(බීබීසී සිංහල සේවය)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top