චලෙයි අසලදී සොයාගත් බව පැවසෙන RBK-500 AO-2.5RT බෝම්බ කොටස් චලෙයි අසලදී සොයාගත් බව පැවසෙන RBK-500 AO-2.5RT බෝම්බ කොටස්
Mar 03, 2018

'හමුදාව පොකුරු බෝම්බ ගැහුවේ නැ' - ආණ්ඩුව කියයි Featured

ඔස්ලෝ සම්මුතිය ලෙසින් හැඳින්වෙන පොකුරු වෙඩි තහනම් කිරීම සඳහා වන ජාත්‍යන්තර සම්මුතියට යුද්ධයෙන් අවුරුදු නමයකට පසු එකඟතාව පල කර ඇති ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේනා විසින් පොකුරු බෝම්බ භාවිතා කර නැතැයි පවසා තිබේ.

“ශ්‍රී ලංකාව කිසි දිනෙක පොකුරු බෝම්බ භාවිත කර නොමැති බව සහ ඉදිරියේදීද භාවිත නොකරන බව” තම ස්ථාවරය බව අලුත්ම කැබිනට් මණ්ඩල තීන්දු දැනුම් දෙමින් රජය ප්‍රකාශ කර ඇත.

“සන්නද්ධ ගැටුම් පැවති අවධියේදී ශ්‍රී ලංකාව විසින් පොකුරු බෝම්බ භාවිත කළ බවට ඇතැම් පාර්ශ්ව විසින් විවිධ චෝදනා එල්ල කළද, ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් පොකුරු බෝම්බ භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති” වග ඔස්ලෝ සම්මුතියට එකඟතාව පල කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බව දැනුම් දෙන රජයේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.

යුද සමයේදී රජය විසින් “යුද මුක්ත කලාපය” ලෙස ප්‍රකාශයට පත් කරන ලද භූමියෙන් මීට වසර එකහමාරකට පෙරාතුව රුසියානු පොකුරු බෝම්බ ශේෂ සහ පුපුරා නොගිය පොකුරු උණ්ඩ හමුවීමෙන් අනතුරුවද එහි සත්‍යතාව ආණ්ඩුව විසින් බරපතල ප්‍රශ්න කිරීමකට ලක් කරන ලදී.

එම ද්‍රව්‍ය හමුවී තිබුනේ බිම් බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ මුල් පෙලේ ජාත්‍යන්තර ආයතනයක් වන හේලෝ ට්‍රස්ට් විසින් 2016 දී මුලතිව් දිස්ත්‍රික්කයේ කරන ලද කැනීම් වලදීය.

අලි මංකඩ අසල පච්චිලෙයිපල්ලි ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් 2011 සහ 2012 වසර වලදී එම ආයතනය විසින් පොකුරු බෝම්බ හතලිස් දෙකක් ද සොයා ගෙන තිබුනි.

Cluster bomb 11

යුද මුක්ත කලාපය:

යුද්ධයේ අවසාන භාගයේ යුද මුක්ත කලාපයේ රජයේ රෝහල් භාරව සිටි ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වූ මුලතිව් දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ තුරෙයිරාජා වර්ධරාජා පවසන්නේ ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා විසින් ගැසූ පොකුරු බෝම්බ පමණක් නොව රසායනික ප්‍රහාර වලටත් දෙමළ ජනතාව ගොදුරු වූ බවයි.

පොකුරු බෝම්බ ගැසීම නීති විරෝධී නොවන බව අතුරුදහන් වුවන් පිලිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම ඒ සමයේ කර තිබූ ප්‍රකාශයක් “පණ්ඩිත කතාවක්” ලෙස බැහැර කළ එවක විදේශ අමාත්‍ය මංගල සමරවීර කියා තිබුනේ නැගෙන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සත්‍යය හෙළි කිරීම රජයේ වගකීම බවයි.

වසර එකහමාරකට වැඩි කලක් ගතවීත් රජය කළ පරීක්ෂණයක් පිළිබඳ කිසිදු තොරතුරක් මේ දක්වා හෙළිවී නැත.

මේ අවුරුද්දේ ජූනි මුල සිට රටේ බිම් බෝම්බ තහනම් කරන්නට ශ්‍රී ලංකාව ගිවිසගත් අවස්ථාවේ ඒ පිළිබඳව සතුට පල කළ ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ තහනම් කිරීමේ ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියේ පොකුරු බෝම්බ තහංචියටත් පියවර ගන්නා ලෙසයි.

(radiogagana)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top