Sathosa

Mar 05, 2018

'IMF නිසා ආණ්ඩුව පෙරලෙන තත්වයක්' - හිටපු මුදල් ඇමති

ජනතා ද්‍රෝහී ආර්ථික වැඩපිලිවෙලවල් යෝජනා කරමින් ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය ඇති කරන ලද්දේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් බව හිටපු මුදල් ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට කාර්යභාරය අවසන් බැවින් ඔවුන් මෙරටින් පිටව යා යුතු යයිද මන්ත්‍රීවරයා කියා සිටියි.

මහ බැංකුවේ පණ්ඩිතයන්ගේ ක්‍රියාකාරකම් නිසා ආණ්ඩුව පෙරලෙන තත්වයක් ඇති වී තිබෙන බවද ඔහු පවසයි.

ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියේ ඊයේ (04දා) කොළඹ තොටළඟ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

රජය ජනයාගෙන් ඈත් කළේ කව්ද ?

තමා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ බැංකු ණය පොලී අඩු කරන ලෙස මහ බැංකුවට පෙන්වා දුන්නත්, එහි සිටි න්‍යාය පණ්ඩිතයන් ඒවා ගණනකට නොගත් බව පැවසු හිටපු මුදල් ඇමතිවරයා මෙසේද සඳහන් කළේය.

"මම මුදල් ඇමති කාලයේ බැංකු ණය පොලී අඩුකරන ලෙස මහ බැංකුවට පෙන්වා දුන්නා. එතන ඉන්න න්‍යාය පණ්ඩිතයන් ඒවා ගණන් ගත්තේ නැහැ. අද රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා නව රැකියා උත්පාදනයට ඒක බලපෑව විතරක් නොවෙයි, ස්වයං රැකියා කරන පිරිසට හා කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාවසායකයන් සඳහා ගැටලු රැසක් ඇති කළා.

මේ රජය ජනතාවගෙන් ඈත් කරල තියන්නෙ ඔය මහ බැංකුවේ සිටින පණ්ඩිතයන් කිහිප දෙනෙක්. කිසිදු ප්‍රායෝගික අත්දැකීමක් නොමැති මේ නිලධාරීන් සමග රට ඉදිරියට ගෙන යන එක ගැටලුවක්."

සුරාබදු ආදායම් බැහැලා

ජනතාව සුරා පානය කළත්, අද සුරාබදු ආදායම් බරපතළ ලෙස පහත වැටී ඇති බවත්, එම බදු මුදල් ගියේ කොතැනටදැයි සොයා බැලිය යුතුව ඇති බවත් රවි කරුණානායක මහතා පවසා එහිදී පවසා සිටියේය.

"මම මුදල් ඇමැති කාලයේ රාජ්‍ය ආදායම 25%ත් 30%ත් අතර ප්‍රමාණයකින් වර්ධනය කළා. ඒ වර්ධනය දැන් පෙනෙන්නේ නැහැ. අද සූරා බදු ආදායම බරපතළ ලෙස පහත වැටිලා. මොකද ජනතාව සූරා පානය නොකර හිටියාද? මේ මුදල් ටික ගිහින් තියෙන්නෙ කොහෙටද? මේව ගැන තමා අපි හොයන්න ඕනෑ.

අනවශ්‍ය ලෙස ආදායම අහිමි වුණොත් නැවත ජනතාව මත බදු පැටවීමක් වෙන්න පුළුවන්" යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top