Mar 07, 2018

අගමැතිට එරෙහි විශ්වාසභංගය හබක් !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඊයේ (06 දා) කථානායකවරයාට භාර දෙන බව පැවසූ විශ්වාසභංග යෝජනාව ඊයේ භාර නොදුන්නේය.

මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්‌වූහ.

එම විශ්වාසභංග යෝජනාව සම්බන්ධව අනෙකුත් දේශපාලන පක්‍ෂ සමගද සාකච්ඡා කර ඔවුන්ගේ අත්සන් ලබා ගැනීම දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පැවරීමට තීරණය කළ බව රත්නපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කීවේය.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් හා එජාපයේ ඇතැම් මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය වූ බවත් ඒ අනුව ඔවුන්ගේද සහාය ලබා මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවත් හෙතෙම කීවේය.

එමෙන්ම රට තුළ පවත්නා තත්ත්වය පිළිබඳ සලකා බලා අද (07 දා) නුගේගොඩ පැවැත්වීමට නියමිතව තිබූ රැලිය අත්හිටුවීමට මෙම සාකච්ඡාවේදී තීරණය කළ බව ඒ මහතා කීවේය.

ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාවක් නැහැ :

කෙසේවුවද ඉතා විශ්වාස වන්ත කටයුතු ආරංචිමාර්ග පවසන්නේ, ඒකාබද්ධ විපක්‍ෂයේ සහ විපක්‍ෂයේ ඇතැම් දේශපාලන පක්‍ෂවල අස්සනින් ඊයේ (මාර්තු 06 )දින අගමැතිවරයට එරෙහි ඉදිරිපත් කිරීමට නියමිතව තිබු විශ්වාසභංගයට ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාවක් ලබා ගැනීමට එහි සංවිධායකයින්ට නොහැකිවී ඇති බවයි.

එසේම, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙකී යෝජනාවට විරෝධය පළකර තිබීම මෙසේ කල්දැමීමට හේතුවී ඇත.

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 20කට වඩා වැඩි පිරිසකගේ අත්සනින් කතානායකවරයාට ඊයේ දිනයේ බාරදීමට සූදානමින් සිටි විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ද විපක්‍ෂයේම ඇතැම් මන්ත්‍රීවරුන් බාදා කරමින් සිටිතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා විසින් මෙහෙයවන 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවිය ඊයේ උදැසනම වාර්තා කර තිබිණ.

ඒ අතර එක්සත් ජාතික පක්ෂය විසින් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ද අවධාරණය කර තිබිණ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top