Mar 10, 2018

සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීම : 'ජනපතිගේ තීරණය හරි’ - මංගල

සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීමට තමා ප්‍රතිපත්තිමය වශයෙන් කිසිඳු ලෙසකින් එකඟ නැතත්, මේ තීරණාත්මක අවස්ථාවේදී තාවකාලිකව එවැනි පියවරක් ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය අතිශයින් වැදගත් බවත් එය අනුමත කරන බවත් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකාව තුල මේ වන විට ක්‍රියාත්මක කර ඇති ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වාරණයට තමන් එකග නොවන බවට මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා සදහන් කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී ඇමතිවරයා එබව සඳහන් කළේය.

මෙවැනි අවස්ථාවක මානව හිමිකම්, මාධ්‍ය නිදහස මෙන්ම, අනිත් අතින් රටේ පවතින තත්වයත් සැලකිල්ලට ගැනීමට සිදුවෙන බවත්, ඒ අනුව ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගයෙන් පලදායී ප්‍රතිපලයක් ලැබී ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

වාර්ගික ප්‍රචණ්ඩත්වය ඇප ලබා දිය නොහැකි වරදක් බවට පත් කළ යුතු බවත්, එමෙන්ම එවැනි වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියාවලට නායකත්වය දෙන දේශපාලකයින්ගේ සිවිල් ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවත් විදේශගතව සිටි අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් හරහා පසුගියදා ප්‍රකාශකර තිබිණ.

Mangala Twtr 670px 06 03 18

"අතිවිශේෂ එහෙත් තාවකාලික" පියවරක් :

ශ්‍රී ලංකාවේ සමාජ ජාල මාධ්‍ය අවහිර කරනු ලැබීමත් සමඟ මාර්තු අට වෙනිදා මධ්‍යාහ්නයේ පටන් රට තුළ සන්නිවේදන කටයුතු අඩාල වී ඇතැයි සමාජ ජාල මාධ්‍ය පර්යේෂක චානුක වත්තේගම මහතා පවසයි.

මහනුවර ප්‍රදේශයේ ගැටුම් ගැන කටකතා පැතිර යමින් පවතින අතරවාරයේ ව්‍යාජ ප්‍රකාශන පතුරුවා හැරීම සඳහා සමාජ ජාල මාධ්‍ය උපයෝගී කර ගන්නා බවට තොරතුරු ලැබීමෙන් අනතුරුව ආණ්ඩුවේ නියෝගය පරිදි ඊට අවහිර කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් පියවර ගනු ලැබුණි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කල විදුලි සංදේශ ඇමති හරින් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ගෙන ඇති වාරණ තීන්දුව විස්තර කළේ "අතිවිශේෂ එහෙත් තාවකාලික" පියවරක් හැටියටය.

"මිනිසුන් එක්තැන් කිරීම සඳහා නිමැවුණ තාක්ෂණයක් මිනිසුන් වෙන්කොට ඇද ගැනීම සඳහා භාවිත කෙරෙන ආකාරය පසුගිය දින කීපයේදී දකින්නට ලැබුණ" බවත් හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා සඳහන් කර තිබිණ.

Teldeniya 002''මෙවැනි අවස්ථාවක ආණ්ඩුවලට කලබල නතර කිරීමට මෙවැනි ආන්තික පියවර ගන්න සිද්ධ වෙනවා"- චානුක වත්තේගම

එම තාවකාලික වාරණය පිළිබඳව BBC සිංහල සේවය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ සමාජ ජාල මාධ්‍ය පර්යේෂක චානුක වත්තේගම මහතා, සමාජ ජාල මාධ්‍යයට අවහිර කිරීම මිනිස් අයිතිවාසිකම් වලට පටහැණි යයි තර්කයක් ගොඩ නැගිය හැකි වුනත්, පවතින ගැටුම්කාරී තත්වය තවත් උග්‍ර කිරීම සඳහා ඇතැම් කොටස් සමාජ ජාල මධ්‍ය පාවිච්චි කරන හෙයින් ඊට විකල්ප මතයක් ගොඩ නැගෙන බව පවසයි.

"මහනුවර තත්වය නරක අතට හැරෙමින් තිබියදී එම ප්‍රදේශයේ ජීවත් නොවෙන පිටින් පැමිණි පිරිසක් කණ්ඩායම් ගැසීම සඳහා පුද්ගලයන් එකතු කර ගැනීමට සමාජ ජාල මාධ්‍ය පාවිච්චි කරන හැටි අපි දැක්කා. ඉතින් එවැනි අවස්ථාවක ආණ්ඩුවලට කලබල නතර කිරීමට මෙවැනි ආන්තික පියවර ගන්න සිද්ධ වෙනවා" චානුක වත්තේගම මහතා සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top