Pasidol
Sathosa Ad Final Sinhala
Mar 14, 2018

සමාජ මාධ්‍ය ජාල තහනම : 'ෆේස්‌බුක්‌' ප්‍රධානීහු ලංකාවට

දැනට අක්‍රීය කර ඇති සමාජ මාධ්‍ය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට එම මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් රැසක්‌ මෙරටට පැමිණීමට නියමිතය.

එහිදී වෛරය පතුරුවන ප්‍රකාශ අක්‍රීය කිරීම සඳහා සාකච්ඡාවකට ලක්‌ කෙරේ.

සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත්වන අවමන්සහගත ප්‍රකාශ සහ වෛරය උපදවන ප්‍රකාශ ඉවත් කිරීම සඳහා ෆේස්‌බුක්‌ සමාගම යටතේ අවශ්‍ය තාක්‍ෂණික ශිල්පය ප්‍රමාණවත් ලෙස නැතැයි හෙළිවී ඇත.

එහෙත් ෆේස්‌ බුක්‌ බලධාරීන් ශ්‍රී ලංකාවට සහාය වීමට එකඟ වී තිබේ.

දැනට ඉරානය චීනය ඇතුළු රටවල් රැසක නවීන තාක්‍ෂණය යටතේ වෛරය උපදවන හා ආණ්ඩු විරෝධී ප්‍රකාශ ඉවත් කෙරේ.

 

'සමාජ මාධ්‍යවලට සීමා පනවනවා' - ජනාධිපති 

මේ අතර ජනාධිපතිවරයා පැවසුයේ ජාතික ආරක්ෂාවට හා සමගියට බාධාවන කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීම සීමා කිරීමට අදාළ සමාගම් සමඟ සාකච්ඡා කරන බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළකලේ ජපානයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් සමග ඊයේ (13) පස්වරුවේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වුණු හමුවකට එක්වෙමිනි.

මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බව ජනාධිපතිවරයා එහිදී කියාසිටියේය.

සමාජ යහපත වෙනුවෙන් වන ප්‍රවාහයකට ඉඩ දුන්න ද සමාජය විනාශ කරන යම් දෙයක් වේ නම් එය පාලනය කිරීමට යම් ක්‍රමවේදයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මානව සමාජයේ යහපත සදහා නිර්මාණය වූ ජංගම දුරකථන, පරිගණකය, අන්තර් ජාලය, සමාජ මාධ්‍ය තුලින් ලෝකයක දැනුම තමන්ට අත්කර ගත හැකි වුව ද අවාසනාවකට ශ්‍රී ලංකාවේ ඇතැම් පිරිස් මෙම සම්පත් භාවිතා කරනු ලබන්නේ රට විනාශ කිරීමට බව ජනාධිපතිවරයා කියා සිටියේය.

නව වැඩපිළිවෙළක් ඉදිරි සති කිහිපය තුළදී :

එබැවින් මෙම සම්පත් නිසි ලෙස භාවිතා කිරීම පිළිබද නව වැඩපිළිවෙළක් ඉදිරි සති කිහිපය තුළ රටට හදුන්වාදීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේය.

ජාතික සමගිය නැති කිරීම, ජාතික ආරක්ෂාවට හානි කිරීම, පුද්ගලයන්ට කරන බරපතළ නින්දා කිරීම් වැනි දේ ඉවත් කර යහපත් සහ නිවැරදි දේ පමණක් හුවමාරු කෙරෙන මාධ්‍ය වැඩි වැඩියෙන් අවශ්‍ය බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියාසිටියේය.

පසුගිය දිනවල රටේ ඇතැම් ප්‍රදේශවල කළහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට ඇතැම් පාර්ශවයන් නීතිවිරෝධී ලෙස සමාජමාධ්‍ය භාවිත කිරීම පාලනය කිරීම සඳහා රජය පසුගියදා කටයුතු කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top