Mar 21, 2018

'විශ්වාසභංගය දිනවන්න ආණ්ඩුවේ කණ්ඩායමක් පොරොන්දු වුනා' - මහින්ද Featured

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැති ඇමැතිවරුන් කණ්‌ඩායමක්‌ පොරොන්දු වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා "දිවයින" පුවත්පතට පවසා ඇත.

මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා ඊට අත්සන් තැබීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඇමැතිවරුන් පිරිසක්‌ එකඟවී සිටින බවද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්වා ඇති රාජපක්‍ෂ මහතා මෙසේද සඳහන් කර ඇත.

'' කවුරු මොනවා කිව්වත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරනවා.

සාමාන්‍ය ජනතාව මහත් උනන්දුවෙන් බලා සිටිනවා මේ කටයුත්ත කෙරෙන කල්. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒම ගැන මහජනතාවගේ උණුසුම් ප්‍රතිචාර අපට ලැබෙනවා.''

 SB Dissanayeka 670px 21 03 18Susil 670px 16 02 18DayasiriJ 670px 03 08 17 

එස්.බී, සුසිල් හා දයාසිරි බරටම වැඩ ...

ඒකාබද්ද විපක්‍ෂය විසින් ගෙන එනු ලබන විශ්වාස භංග යෝජනාව සදහා ආණ්ඩුවේ ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගේ සහය ලබා ගැනීමේ කටයුතු සංවිධානය කරනු ලබන්නේ එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත හා දයාසිරි ජයසේකර යන ශ්‍රීලනිප අමාත්‍යවරුන් හා එජාප මන්ත්‍රී චතුර සේනාරත්න මහතා විසින් බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

කෙසේවුදව මෙම විශ්වාස භංග යෝජනාව කතානායකවරයට බාරදීමට පෙර ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ හා එජාප මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ අත්සන් ඒ සඳහා ලබාදිය යුතු බවට ඒකාබද්ධය විපක්ෂය යෝජනා කර තිබේ.

එහෙත්, එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු මේ දක්වා මිට අත්සන් තබා නොමැති අතර ශ්‍රීලනිපය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පමණක් මේවනවිට මෙම ලේඛනයට අත්සන් තබා ඇතැයි වාර්තාවේ.

 එජාපයේ තීරණය මෙන්න !

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් ඇමතිවරයකු අත්සන් කළහොත් වහාම ඔහුව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පෙරේදා රැස්වී ඒකමතික තීන්දුවකට එළඹ තිබේ.

අමාත්‍ය පී හැරිසන් මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකරනු ඇති බවයි.

ආණ්ඩුවේ සිටින කිසියම් මන්ත්‍රීවරයෙකුට මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමට අවශ්‍ය නම් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුර මහතා අවධාරණය කර සිටියේය.

duminda dissanayakeවිශ්වාස භංගයට මම විරුද්ධයි' -ශ්‍රීලනිප මහ ලේකම්

කෙසේවුවද ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසන්නේ, ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට සැරසෙන විශ්වාස භංග යෝජනාවට තමන් තරයේ විරුද්ධ බවයි.

එය තමන්ගේ පෞද්ගලික මතය විනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බව අවධාරණය කරන ඇමතිවරයා, අදාළ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයකට එළැඹ නැති බවත් 'බීබීසී සිංහල සේවය'ට පැවසීය.

විශ්වාස භංග යෝජනාව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර "විරසකයක් ඇති කිරීමේ" සහ "ජාතික ආණ්ඩුව විනාශ කිරීමේ" කුමන්ත්‍රණයක් බවද ඔහු අවධාරණය කර සිටියි.

 සබැඳි පුවත් :

'විශ්වාසභංගයට මම විරුද්ධයි' -ශ්‍රීලනිප මහ ලේකම් 

රනිල්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම ඇරඹේ 

රනිල්ට එරෙහි විශ්වාසභංගයට මහින්ද එකඟ නැහැ ! 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top