Mar 24, 2018

විශ්වාසභංගයෙන් පසු ජනපති එලවීමේ මෙහෙයුමක් ! Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීමකට ලක්කර ජනාධිපතිවරයා දේශපාලනිකව අස්ථාවර කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ මුලික අරමුණක් වී ඇතැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු උපුටා දක්වමින් 'නිව්ස් ටියුබ්' වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

යම් හෙයකින් මෙම විශ්වාස භංගයෙන් අගමැතිවරයා පරාජයට පත්වුවහොත් ඒ සමගම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සැලසුම් කර ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

මේ වන විටත් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගේ අති බහුතරයක් රාජපක්ෂවරුන් සමග එකඟතාවයකින් ක්‍රියා කරති.

Duminda D 600විශ්වාස භංග යෝජනාව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර "විරසකයක් ඇති කිරීමේ" සහ "ජාතික ආණ්ඩුව විනාශ කිරීමේ" කුමන්ත්‍රණයක් - ශ්‍රීලනිප මහ ලේකම්

මේ අතර ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසන්නේ, විශ්වාස භංග යෝජනාව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර "විරසකයක් ඇති කිරීමේ" සහ "ජාතික ආණ්ඩුව විනාශ කිරීමේ" කුමන්ත්‍රණයක් බවයි.

'බීබීසී සිංහල සේවය' සමග සාකච්ජාවකට එක්වෙමින් ඔහු එබව අවධාරණය කර සිටියේය.

එහෙයින්, ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට සැරසෙන විශ්වාස භංග යෝජනාවට තමන් තරයේ විරුද්ධ බවද ඔහු කියා සිටියේය.

එය තමන්ගේ පෞද්ගලික මතය විනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බව අවධාරණය කරන ඇමතිවරයා, අදාළ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයකට එළැඹ නැති බවත් පැවසිය.

සබැඳි පුවත් :

'විශ්වාසභංගයට මම විරුද්ධයි' -ශ්‍රීලනිප මහ ලේකම්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top