Sathosa

Mar 26, 2018

"සාගලගේ කතාව ඇත්ත ප්‍රචාරණය ගැන ආණ්ඩුවෙ දැණුම බිංදුවයි ”

අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රකාශය සත්‍ය බවත්, ආණ්ඩුවට ජනතාව වෙනුවෙන් කරන වැඩක වාසිය ගැනීමට උපරිම ප්‍රචාරණයක් ලබා ගැනීමට හෝ හැකියාවක් හා දැනුමක් නැතැයි ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යව්දීන්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතා කියයි.

SagalaRathnayake 670px 10 02 17එක් ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂ 10 බැගින් වැය කරමින් සංවර්ධන ව්‍යාපෘති 55000 කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කළද, එය ජනතාව වෙතට ගෙනයාමට සිය ප්‍රචාරණය අපොහොසත්ව ඇති බවට ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ගමගේ මහතා මේ බව කියා සිටියේය.

ආණ්ඩුව ඩිජිටල් ලෝකයට යන බවට පාරම්බෑවත්, සිය ප්‍රචාරණය සඳහා තාමත් භාවිතා කරන්නේ ජනතාවට වඩාත් සමීප නොවන හා මිල අධික මාධ්‍යන් වන පත්තර, රූපවාහිනිය හා ගුවන් විදුලිය වැනි මාධ්‍ය බවත් ගමගේ මහතා කියා සිටියේය.

ලංකාවේ ස්මාර්ට් ෆෝන් මිලියන 5කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත්, තම ප්‍රචාරණය වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය හරහා අඩු මිලකට වැඩි වාසි සහිතව කරගත හැකිව තිබියදී ඒ සම්බන්ධයෙන් පසුගිය වසර තුන පුරාම කිසිදු උනන්දුවක් නොවූ බවද හෙතෙම අවධාරණය කළේය.

ආණ්ඩුවේ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් ඒ සඳහා නුසුදුස්සන් බව මේවන විට ඔප්පුවී හමාර බවත් කී ඒ මහතා ආණ්ඩුවේ මේ දුර්වලතාව සකස්කර ගැනීමට  උපකාර කිරීමට තම සංගමය ඇතුළු පිරිස සූදානම් බවද ඔහු කියා සිටියේය.

ආණ්ඩුව විවේචනය කිරීම මෙන්ම ආණ්ඩුවේ ප්‍රතිඵලදායක වැඩ සම්බන්ධයෙන්ද කතා කිරීමට ද තමා හා තම සංගමය පස්ස නොගසන බවද ඒ මහතා පැවසීය.

අමන තියරි

මේ අතර, ගමගේ මහතා කියා සිටියේ පසුගිය දිනක ප්‍රබල අමාත්‍යවරයකු සමඟ සිය සංගමය සාකච්ඡාවක් පැවැත්වූ බවත්, අදාළ අමාත්‍යංශය අලුත් ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉදිරියෙන්ම සිටින අමාත්‍යංශයක් වුවත් එහි වෙළෙඳ ප්‍රචාරණ වෙනුවෙන් වෙන්කර ඇති මුදලෙහි වෙබ් හා සාමාජ ජාල මාධ්‍ය දැන්වීම් කරණය වෙනුවෙන් රුපියලක් හෝ වෙන්කර නොතිබුණ බවයි.

කෙසේවුද, අදාළ අමාත්‍යවරයාට වෙබ් හා සාමාජ ජාල මාධ්‍යයේ ප්‍රචාරණයේ වැදගත්කම පෙන්වාදුන් වහා එය තේරුම් ගනිමින් ඒ මහතා වහාම ඒ සඳහා ක්‍රියාත්මක වූ බවද හෙතෙම හෙළි කළේය.

මේ අතර, ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළි වූයේ රාජ්‍ය ආයතන බොහොමයක් වෙබ් හා සාමාජ ජාල මාධ්‍යයෙහි දැන්වීම් කරණයේ නොයෙදෙන්නේ එහි ලේකම්වරුන්ගේ ගතානුගතික මත හේතුවෙන් බවයි.

එසේම, අදාළ දැන්වීම් වෙබ් අඩවි සඳහා ලබාදීමෙන් ඔවුන්ට පත්තර, රූපවාහිනිය හා ගුවන් විදුලිය වැනි මාධ්‍යයෙන් ලබා ගන්නා කොමිස් මුදල් නොලැබීමද එම දැන්වීම්කරණයට උනන්දු නොවීමට හේතුවක් බවයි.

කර වැඩ ගමට කියන්න දැන් පුළුල් ප්‍රචාරණයක් ඕන

විමධ්‍යගත කරන ලද අයවැය වැඩසටහන සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන පිළිබඳ අද (26) ආණ්ඩුවේ ප්‍රචාරණයේ දුර්වලතාවය සම්බන්ධයෙන් මෙසේද පවසා තිබිණි

“පහුගිය අවුරුදු දෙක තුළ අපි එක ව්‍යාපෘතියකට ලක්ෂ දහය බැගින් වියදම් කරලා ව්‍යාපෘති 55000 කට වැඩි ව්‍යෘපෘති ප්‍රමාණයක් සිදු කළා. ඒත් මහජනතාව ඒ ගැන දන්නේ නෑ. ඒක හරිම ඛේදවාචකයක්. අනිත් කාරණය තමයි අපි මේ ව්‍යාපෘති ගැන කියලා බෝඩ් එකක්වත් ගැහුවේ නෑ."

"ඒ නිසා අපේ ව්‍යාපෘති ගැන ගම් මට්ටමට ගෙනියන්න පුළුල් ප්‍රචාරක ව්‍යාපෘතියක අවශ්‍යතාව දැන් දැඩි ලෙස මතුවෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ වෙනකොට රජයේ ප්‍රතිපත්තිය ගමට ගෙනියන්න නිසි ක්‍රමවේදයක් නොමැති වීම. මේවා කරන්න දැන් ප්‍රමාද වැඩියි. නමුත් අපි දැන් හෝ මේ ගැන හිතලා වැඩපටන් ගන්න ඕන."

"මොකද අපි කරන ව්‍යාපෘතිවල වටිනාකම අපි ගන්න ඕන. ඒ වගේම ඒ ව්‍යාපෘතිවලට අවශ්‍ය වටිනාකම දෙන්නත් අපි කටයුතු කරන්න ඕන. මේක දැන් තරඟයක් වෙලා තියෙන්නේ. අපි ඒ තරඟයට ශක්තිමත්ව මුහුණ දෙන්න ඕන.”

එම සාකච්ඡාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් එච්.එම්.ගාමිණී සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් ආතාවුදහෙට්ටි යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටි බව පැවසේ.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top