Sathosa

''අගමැතිවරයාගේ ධුරකාලය සීමා කළ හැක්කේ පාර්ලිමේන්තුවේ මීළඟ අය-වැය පරාජය කොට විශ්වාසභංග යෝජනාවක් සම්මත කර අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමෙන් පමණයි'' - ස්වදේශ ඇමති ''අගමැතිවරයාගේ ධුරකාලය සීමා කළ හැක්කේ පාර්ලිමේන්තුවේ මීළඟ අය-වැය පරාජය කොට විශ්වාසභංග යෝජනාවක් සම්මත කර අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමෙන් පමණයි'' - ස්වදේශ ඇමති
Mar 29, 2018

'අගමැති ඉවත් කිරීමට නීතිමය ප්‍රතිපාදන නැහැ' - ඇමති වජිර

දහනව වන ව්‍යවස්ථා සංශෝධනයේ 46(2) වගන්තිය ප්‍රකාර අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය, ධුරයෙන් ඉල්ලා අස්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු නොවීම, අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීම හේතුවෙන් අවසන් විය හැකි වුවද, අග්‍රාමාත්‍යවරයා සෘජුවම ඉවත් කිරීමට කිසිදු හැකියාවක් නැතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ 48(1) වගන්තිය අනුව අගමැතිවරයා ධුරය දැරීම නතරවීම, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පතක් ප්‍රතික්ෂේපවීම හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමෙන් අමාත්‍ය මණ්ඩලය විසිරවීම සිදුකළ හැකි බවත්, අගමැතිවරයාගේ ධුරකාලය සීමා කළ හැක්කේ පාර්ලිමේන්තුවේ මීළඟ අය-වැය පරාජය කොට විශ්වාසභංග යෝජනාවක් සම්මත කර අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමෙන් පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

සිරිකොත එජාප මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ඊයේ (28දා) පැවැති එජාප මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් ලිඛිත නීතියකින් ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියමකර නොමැති බවද ප්‍රකාශ කළේය.

 

අගමැතිට බැඳුම්කරය චෝදනා නැහැ :

 

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.

"මෙම ආණ්ඩුව බලයට පත්වූ පසු රට අකර්මණ්‍ය කිරීමට හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය අඩපණ කිරීමට විරුද්ධවාදීන් දිගින් දිගටම කටයුතු කළා.

මෙවර ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ අගමැතිවරයාට එරෙහිව සඳහන් කර ඇත්තේ බැඳුම්කරයට අදාළ චෝදනාවන්.

බැඳුම්කර සිද්ධියට අගමැතිවරයා ඇතුළු දේශපාලනඥයන් වගකිවයුතු නැති බව ඒ සඳහා පත්කළ ජනාධිපති කොමිසම නිගමනය කර තිබෙනවා. ඊට අදාළ වරදකරුවන් කවුදැයි කොමිසම සඳහන්කර ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ කරුණු පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකියි.

නමුත් ව්‍යවස්ථාව නොසලකා රජයක් ලෙස මෙම විවාදයට කඩිනමින් අවස්ථාව සලසාදීමට අග්‍රාමාත්‍යවරයා ගෙන ඇති තීරණය නිසා ලබන මස 4දා අප මේ විශ්වාසභංග යෝජනාව අනිවාර්යයෙන්ම පරාජය කරනවා.

 

එකාබද්ධයේ උවමනාව ?

 

ඒකාබද්ධ විපක්ෂය මේ හරහා උත්සාහ දරන්නේ රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අක්‍රිය කිරිමටය. ජනාධිපති කොමිසම මඟින් නි‍ෙදාස් කරන ලද නායකයකුට චෝදනා පත්‍රයක් එල්ල කිරීමට සදාචාරාත්මක හැකියාවක් ඇතිද යන්න ඔවුන් කල්පනා කළේ නැහැ.

එනිසයි අගමැතිතුමා කෙරෙහි අපට විශ්වාසයක් ඇති බව තහවුරු කිරීමට අප තීරණය කළේ.

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top