Apr 03, 2018

''විශ්වාස භංගය ගෙනාවේ රනිල් එලවන්න නෙමෙයි'' - මහින්ද යාපා

අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආවේ ඔහු පරාජය කර ගෙදර යැවීමට නොවන බවත් විශ්වාස භංගය ජයග්‍රණය කළ නොහැකි බව දන්නා බවත් මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඊයේ (02) මාතරදි පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

“අගමැතිවරයාට එරෙහිව අපි විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ඔහු පරාජය කරන්නවත් ඔහු ගෙදර යන්නවත් නොවෙයි. අපි දන්නවා මේක දිනන්න බැහැ කියලා. අපිට ඕන වුණේ මේකට ඡන්දේ දෙන නොදෙන අය රටට ජනතාවට හෙලි කරන්නයි. හැබැයි වැඩේ ඒ පැත්තට හැරිලා ගියොත් කරන්න දෙයක් නැහැ. යන විදිය අනුව එහෙමයි පේන්න තියෙන්නේ.

පසුගියදා පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කර සක්‍රීය ණය කලමණාකරණ පනත මගින් අගමැතිවරයා තවත් ණය ගන්න අසීමිත ලෙස බලය ලබා ගන්නවා. ඒකෙදී දෝෂයක් සිදුවුවහොත් කලින් වගේ උසාවි යන්න බැහැ. අභියෝග කරන්න බැහැ. කොහොමද අපේ අගමැතිතුමාගේ බුද්ධිය හා මොළය. මේ වගේ මොළයක් තියෙන අගමැතිවරයෙක් කවදාවත් ඉතිහාසයේ බිහි වෙලා නැහැ.

ඉතිං අපි මේකට විශ්වාසභංගයක් ගේන්නේ නැතිව වෙන මොනවා කරන්නද? අපි දන්නවා මේක දිනන්න බැහැ කියලා. නමුත් අපිට පුළුවන් මේකෙන් මේ ගොල්ලෝ රටට හෙලි කරන්න. මේකට ඡන්දේ දෙන මිනිස්සු රටට හෙලි කරන්න. මේකට විරුද්ධව ඡන්දේ දෙන අය රටට හෙලි කරන්න” යැයි එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

(මූලාශ්‍රය ලංකාදීප)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top