Apr 03, 2018

'ජනපති සටන හෙටින් අරඹනවා' -ඇමති අකිල

ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව මේ මස 04දා නිත්‍ය වශයෙන්ම පරාජයට පත්කරනවා පමණක් නොව 2020දී පැවැත්වීමට නියමිත ජනාධිපති හෝ පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමේ සටන ඊට පසුදිනම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අවධාරණය කරයි.

මැතිවරණවලින් පැරැදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලදුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රි ධුර ලබා ඒ පිනෙන් ඇමැතිකම් ලබාගත් ශ්‍රී ලනිපයේ ඇතැම් පිරිස්ද මෙම විශ්වාසභංග යෝජනාව පසුපස සිටින බවත් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඔවුන් ඡන්දය පාවිච්චි කරන්නේ නම් සදාචාරාත්මකව ඉන් ඉවත්ව විපක්ෂයට ගොස් එසේ කරන ලෙස ඉල්ලා සිටින බවත් ඇමැති කාරියවසම් මහතා සඳහන් කරයි.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ඊයේ (2දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළ කළ අමාත්‍යවරයා ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංගය එක්සත් ජාතික පක්ෂයටත් ආණ්ඩුවටත් සුබදායී හැරවුම් ලක්ෂ්‍යයක් වී ඇතැයිද නව ජවයක් ඇතිව පක්ෂය ඉදිරියට ගෙන යෑමට එය නව උත්තේජනයක් වී ඇතැයිද ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවැසුවේය.

කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් !

මේ මස 4 වැනි දින විවාදයට ගැනීමට නියමිත විශ්වාසභංග යෝජනාව 2015 ජනවාරි 8 අප ලැබූ ජයග්‍රහණයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසයි අප දකින්නේ.

ඔවුන් එදා ලැබූ පරාජයේ ක්‍රෝධය හා වෛරය පිරිමසාගන්නට දිගින් දිගටම විශ්වාසභංග යෝජනා ගෙන ආවත් ඒවා සාර්ථක කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

ලක්ෂ 58ක්ව පැවැති ඔවුන්ගේ ඡන්ද පදනම ලක්ෂ 49 දක්වා කඩාවැටීම නිසා මහින්ද රාජපක්ෂලා අද වියරු වැටිලා. ඒ අනුව 2020දී සියයට 45ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකි බව ඔවුන් අද අවබෝධ කරගෙන මෙම රජය අකර්මණ්‍ය කරන්න විවිධ උප්පරවැට්ටි ක්‍රියාත්මක කරනවා.

කැබිනට්ටුවේ ඇතැමුන්ට දුෂණ චෝදනා !

ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුර දරමින් ආණ්ඩුවට විරුද්ධව චෝදනා එල්ල කරන මේ පිරිස මහින්ද රාජපක්ෂ යුගයේ විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලැබූ අය.

මහාධිකරණ නඩු විමසීම් කඩිනම් කර වරදකරුවන්ට දඬුවම් පැමිණවීමට රජය ගෙන යන ක්‍රියාවලිය කඩාකප්පල් කර පසුගිය කාලයේදී මෙන් තමන්ට එරෙහිව ඇති චෝදනා යටපත් කරන්නයි ඔවුන් උත්සාහ කරන්නේ.

ඔවුන්ගේ මෙම කුමන්ත්‍රණකාරී අභිමතාර්ථයන් සාක්ෂාත් කරගන්න අපි ඉඩ තබන්නේ නැහැ. මෙරට සියලු බලවේග සමඟ එක්ව අත්වැල් බැඳගෙන මේ කුමන්ත්‍රණ ස්ථිර වශයෙන්ම පරාජය කරනවා.

 පක්ෂය කඩිනමින් ප්‍රතිසංවිධානය කළ යුතු බවට හඬ නඟන පිරිසක් මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කළ යුතුය යන මතයේ සිටිනවා.

පදනමක් නැති චෝදනා :

විශ්වාසභංග යෝජනාවට බැඳුම්කර චෝදනා ඇතුළත් කර තිබුණත් එහි පදනමක් නැහැ. ජනාධිපති විමර්ශන කොමිසම මඟින් ඊට අදාළ වරදකරුවන් හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන පිරිසක් අත්අඩංගුවට ගෙන සෙසු අය අත්අඩංගුවට ගැනීමට අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

කොමිසම වරදකරුවන් ලෙස නම් කර ඇති අය අතර රජයේ මැති ඇමැතිවරුන්ගේ නම් සඳහන් වන්නේ නෑ.''

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top