Sathosa

Apr 09, 2018

'16 කණ්ඩායම' වෙනම රැස්වේ ! - අවසන් තීන්දුව රාත්‍රීයේ  Featured

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ '16 කණ්ඩායමේ' විශේෂ සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ පැවති අතර එහිදී අද රාත්‍රී පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ගන්නා තීරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා එම සාකච්ඡාවට සහභාගී නොවුයේ ඔහු විදේශගතව සිටින හෙයිනි.

කෙසේවෙතත් දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දුන් අමාත්‍යවරුන් අද (09) දිනයේ සිය ධූරවලින් ඉවත් වනු ඇති බවයි. 

තමන් දරණ තනතුරුවලින් ඉවත්වීමට පවා සූදානම් බව විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දීමට තීරණය කිරිමත් සමග එම අමාත්‍යවරුන් මීට පෙර පැවසිය.

තමන් කිසිඳු විටෙක ශ්‍රීලනිප හැර නොයන බවත්, ජනාධිපතිවරයා ශක්තිමත් කරමින් පක්ෂය යලි ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන බවත් '16 කණ්ඩායම' මේවනවිටත් අවධාරණය කර තිබේ.

එජාපයෙන් ජනාධිපතිට බලපෑම් :

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දුන් අමාත්‍යවරුන් සමග තවදුරටත් කැබිනට් මණ්ඩලයේ කටයුතු කළ නොහැකි බවට එක්සත් ජාතික පක්ෂය දැනටමත් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ඔවුන් අමාත්‍යධුරවලින් ඉවත් විය යුතු බවයි.

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දුන් අමාත්‍යවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කර තිබිණ.

පසුව එය ඉවත් කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේය.

Wasudewa Nayakkara 670px 09'16 කණ්ඩායම' ආරක්ෂා කිරීම ඒකාබද්ධයේ වගකීමක් - වාසුදේව 

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනා ආරක්ෂා කිරීමට ඒකාබද්ධ විපක්ෂයට යුතුකමක් සහ වගකීමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද (09) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එබව අවධාරණය කළේය.

විශ්වාස භංගයට පක්ෂ වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තවදුරටත් ආණ්ඩුව තුල රැඳී සිටිමින් අභ්‍යන්තර අරගලයක් කල යුතු බව පැවසු වාසුදේව නානායක්කාර මහතා, එය ජනාධිපතිවරයාගේ ස්ථාවරය බවද පැවසිය.

ආණ්‌ඩුව නියෝජනය කළ ශ්‍රීලනිප ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්‌කොඩි, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා, සුසන්ත පුංචිනිලමේ, ටී. බී. ඒකනායක, අනුරාධ ජයරත්න, තාරානාත් බස්‌නායක, ලක්‍ෂ්මන් වසන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, නිමල් ලන්සා, එස්‌. බී. දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී. ජයසේන යන මහත්මීන් 16 දෙනා 04දා ඒකාබද්ධයේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.

මෙසේ අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන් 16 දෙනාට යළි ඇමතිකම් නොදෙන ලෙස එජාපය ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින අතර අද (09) රාත්‍රී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

Dumnda Mahinda''අගමැතිට එරෙහි වුණ ශ්‍රීලනිප මන්ත්‍රීන් රකින්න අපි සුදානමින්'' - අමරවීර - දුමින්ද 

මේ අතර එක්සත් ජනතා මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ, විශ්වාසභංගයේ දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ය මන්ත්‍රී කණ්ඩායමට එරෙහිව එල්ල වන බලපෑම්වලදි ඔවුන් වෙනුවෙන් කටයුතු කිරීමට සුදානම් බවයි.

ඊයේ (08) සවස පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ විශ්වාසභංගයේ දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ය මන්ත්‍රී කණ්ඩායමට එරෙහිව එජාපයෙන් බලපෑම් පැමිණියද ඔවුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනීසිටින බවයි.

''අපි ඉතාමත් පැහැදිලිව පක්ෂයක් විදිහට අපේ පාක්ෂියකයෝ ආරක්ෂා කරන්න අපි හිටගන්නවා'' ඔහු අවධාරණය කර සිටියේය.

සබැඳි පුවත් :

ශ්‍රීලනිපය යළි රාජපක්ෂවරු අතට ! 

අමරවීර හා දුමින්ද ලේකම්ධුරවලින් ඉවත් කිරීමේ සුදානමක් !

16 කණ්ඩායම ශ්‍රීලනිපය අතට ගැනීමට යයි ! 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top