''පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපය පැරද්දුවේ එජාපය නොවේ. අපේම කට්ටිය'' - හිටපු ජනාධිපතිනි ''පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපය පැරද්දුවේ එජාපය නොවේ. අපේම කට්ටිය'' - හිටපු ජනාධිපතිනි
Apr 10, 2018

'ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතුයි'' - චන්ද්‍රිකා දැඩි ස්ථාවරයක Featured

ඇමැති ධුර වලින් මෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වීමට අවශ්‍ය බවට අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (09) රාත්‍රී පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී කල යෝජනාවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨඋපදේශිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැඩි ලෙස විරෝධය පළකර ඇත.

ආණ්‌ඩුවේ ඇමැති ධුර වලින් ඉවත් වීමට අවශ්‍ය බවටවූ යෝජනාව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉදිරිපත් කල අවස්ථාවේදී අමාත්‍ය එස්‌. බී. දිසානායක මහතා එම යෝජනාව ස්‌ථිර කර තිබේ.

චන්දිම වීරක්‌කොඩි, දයාසිරි ජයසේකර අමාත්‍යවරුන් සහ රාජ්‍ය ඇමැති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා ද එම යෝජනාවට පක්‍ෂව අදහස්‌ දක්‌වා ඇත.

කෙසේ වෙතත් දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර ඇමැතිවරයාත් අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ එම යෝජනාවට විරුද්ධව අදහස්‌ ප්‍රකාශ කර ඇත.

'ශ්‍රීලනිපය රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයකට හසුවෙලා'

මෙහිදී දීර්ග වශයෙන් අදහස් දක්වා ඇති බණ්ඩාරනායක මහත්මිය, පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රීලනිපය පරාජය වුයේ එකසත් ජාතික පක්ෂය නිසා නොවන බවත්, එම පරාජයට පක්ෂයේම ඇතැමුන් වගකිව යුතු බවත් පෙන්වා දී ඇත.

ශ්‍රීලනිපයට ඉදිරි දර්ශනයක් හෝ නිශ්චිත දේශපාලන වැඩපිළිවෙලක් නැතයි චෝදනා කර ඇති හිටපු ජනාධිපතිනිය, ජනවාරි 08 දා ජනතාව විසින් පලවා හරිනු ලැබූ මිනීමරුවන්, දුෂිතයින් යළි ලංකර ගැනීමට රහසේ කටයුතු කිරීම නිසා ශ්‍රීලනිපයට අද මෙවැනි අභාග්‍ය සම්පන්න තත්වයක් උදාවී ඇතැයි පෙන්වා දී ඇත.

ආණ්ඩුවෙන් ඉවත්වීමට කතා කරන ඇතැමුන් පසුගිය කාලයේ කටයුතු කලේ 'පොහොට්ටු' පක්ෂයට වාසි සහගත ආකාරයට බවද ඇය එහිදී චෝදනා කර තිබේ.



අවසන් තීරණයක් නැහැ :


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ප.ව. 7.30 සිට රාත්‍රි 10.30 පසුවන තෙක්‌ මෙම මධ්‍යම කාරක සභා රැස්‌වීම කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග විවාදයේදී පක්‍ෂව ඡන්දය භාවිතා කළ ඇමැතිවරුන් පිළිබඳව සහ ඉදිරියේදී ආණ්‌ඩුව තුළ ශ්‍රීලනිප භූමිකාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇත.

එහිදී ජනපතිවරයා පවසා ඇත්තේ ඒ පිළිබඳව පක්ෂයක් ලෙස මෙන්ම සාමූහික තීරණයක් ගන්නා ලෙසයි.

කෙසේවුවද තවදුරටත් ඇමතිකම් දරන්නේ ද ? නැද්ද ? ආණ්ඩුව තුල සිටින්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී එකඟත්වයකට ඒමට නොහැකිවී ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10 ) පැවැත්වෙන කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම වර්ජනය කිරීමට එහිදී තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඊයේ (9 දා) පැවති මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී එම ඇමැතිවරු මෙම තීරණයට එළැඹ ඇති අතර ශ්‍රීලනිපයේ වත්මන් තත්ත්වය පිළිබඳව නැවත මධ්‍යම කාරක සභා රැස්‌වීමක්‌ හෙට (11 වැනිදා) පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top