Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Apr 10, 2018

ගුරුවරුන්ට මැතිවරණ රාජකාරී දීමනා තාම නෑ

පළාත් පාලන මැතිවරණයේ රාජකාරි කටයුතුවල නිරත වූ ලක්ෂයකට ආසන්න ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට තවමත් එම රාජකාරි සඳහා වන දීමනා සහ ගමන් ගාස්තු මෙතෙක් ගෙවා නැතැයි ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි.

අදාළ මැතිවරණය පවත්වා මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් ගතව ඇති අතර එම රාජකාරිවල නිරත සෙසු රාජ්‍ය නිලධාරීන්ට අදාළ දීමනා සහ ගමන් ගාස්තු ඉතා කෙටි කාලයක් තුළ ගෙවා අවසන් කර ඇත. එවැනි තත්ත්වයක් තුළ මැතිවරණ රාජකාරිවලදී විශේෂයෙන් ඉහළ දායකත්වයක් සපයන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මෙවැනි තත්ත්වයකට පත් කිරීම කනගාටුවට කරුණක් යැයිද ඔවුන්  පෙන්වා දෙයි.

එහෙයින් මේ පිළිබඳව කඩිනමින් සොයා බලා එළඹෙන අලුත් අවුරුදු උත්සවයට පෙර මෙම සියලු දීමනා ගෙවා අවසන් කිරීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටින බවද ගුරු සේවා සංගමයේ ප්‍රධාන ‍ලේකම් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

සියලු දීමනා ගෙවා අවසන් - මැතිවරණ කොමිසම

මේ පිළිබඳව මැතිවරණ කොමිසමෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ වූ ගුරුවරු හා විදුහල්පතිවරුන්ට හිමිවිය යුතු දීමනා  කලාප අධ්‍යාපන කාර්යාලවලින් මෙතෙක් එවා ඇති සියලු වවුචර් සඳහා ගෙවීම් කර අවසන් බවයි.

පසුගිය දින තුන තුළ ලැබුණ වවුචර් සඳහා පමණක් මෙතෙක් මුදල් ගෙවා නැති බවත්, මේ වන විට රුපියල් කෝටි දහයකට (මිලියන 99.75)  ආසන්න මුදලක් ඒ වෙනුවෙන් ගෙවා ඇති බවත්, එම කොමිසම පෙන්වා දුන්නේය.

අදාළ දීමනා ඒ ඒ කලාප කාර්යාලවලින් නියමිත ගුරුවරු හා විදුහල්පතිවරුන්ට මුදල් ගෙවූ පසු කලාප කාර්යාල මගින් කොමිසම වෙත අදාළ වවුචර් පත් නිකුත් කරන අතර ඉන් අනතුරුව මැතිවරණ කොමිසම එම වවුචර් සඳහා මුදල් ගෙවන බවද එම කොමිසම පවසයි.

එබැවින් යම් ගුරුවරයකුට හෝ විදුහල්පතිවරයකුට අදාළ දීමනා  ලැබී නැත්නම්, එය එම කලාප කාර්යාලයේ හෝ අදාළ පාස‍ලේ යම් ප්‍රමාද දෝෂයක් නිසා ඇතිවන තත්ත්වයක් විය හැකි බවද මැතිවරණ කොමිසම පෙන්වාදෙයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top