Sathosa

 ''හතළිස් එක් දෙනාම දිගටම එක කණ්ඩායමක් ලෙස තබා ගැනීම අපේ උවමනාවයි'' - මහින්ද අමරවීර  ''හතළිස් එක් දෙනාම දිගටම එක කණ්ඩායමක් ලෙස තබා ගැනීම අපේ උවමනාවයි'' - මහින්ද අමරවීර
Apr 11, 2018

''අපි ආණ්ඩුවෙන් යන්නේ නැහැ'' - සන්ධානයේ මහ ලේකම්  Featured

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්ව ගියත් ඡන්දය නොදුන් කණ්ඩායම දිගටම ආණ්ඩුව තුළ රැඳී සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධීවර සහ ජලජ සම්පත් භාර ඇමති මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි.

කෙසේවුවද ආණ්ඩුව තුළ නියෝජනය වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් හතළිස් එක් දෙනාම දිගටම එක කණ්ඩායමක් ලෙස තබා ගැනීම තම කණ්ඩායමේ උවමනාව බවත් ඇමතිවරයා පවසයි.

බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇමතිවරයා එබව සඳහන් කළේය.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් මේ සතියේ කැබිනට් රැස්වීමට සහභාගි නොවීමට තීන්දු කළත් ඉදිරි කැබිනට් රැස්වීම්වලට සහභාගි වීම හෝ නොවීම සාකච්ඡා මගින් තීන්දු කරන බව ඇමති මහින්ද අමරවීර මහතා පැවසිය.

අවසාන නිගමනය ?

තමන් "මෙම අඟහරුවාදා (අප්‍රියෙල් 10) කැබිනට් රැස්වීමට සහභාගී නොවී සිටීමට තීන්දු කරන ලද්දේ කණ්ඩායමක් වශයෙන් කටයුතු කළ යුතුව ඇති හෙයින්,"යයි ඔහු සඳහන් කළේය.
"අපි අවසාන නිගමනයකට ආවා,  මේ සතියේ කැබිනට් සාකච්ඡාවට කිසිවකු සම්බන්ධ නොවීමට.

ඒ අතරවාරයේ තවදුරටත් සාකච්ඡා කරල තමයි, ඉදිරි කැබිනට් රැස්වීම්වලට සහභාගී වීම හෝ නොවීම තීරණය කරන්නේ," එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර ඇමතිවරයා පැවසිය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට  එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ඔවුන් දරන පදවිවලින් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහින්ද අමරවීර ඇමතිවරයා, රැඳී සිටීම හෝ ඉවත්ව යාම ඔවුන් සතු අයිතියක් බව කියා සිටියේය.

එජාප මතයට එකඟ වෙන්න බැහැ :

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් කොටස් "විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සමග ඉඳ ගැනීමට නොහැකි" බවට කරන ප්‍රකාශන සමඟ එකඟ විය නොහැක යන්න මහින්ද අමරවීර ඇමතිවරයාගේ ස්ථාවරය විය.

"ඡන්දය දුන් කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වුනොත් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක අපට ගැටළුවක් නොවෙයි. ඒක ඒ අයගේ අයිතියක්. අවශ්‍ය නම් මට වුනත් ඉවත්වීමේ හැකියාව තියෙනවා. නමුත් ඔවුන් 'යවන්න' ගෙනෙන යෝජනා සහ වැඩ පිළිවෙළකට අපේ සහයෝගයක් නැහැ," ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

මේ සතියේ කැබිනට් රැස්වීමට සහභාගී නොවීමට සියලුදෙනා තීන්දු කරන ලද්දේ එම පසුබිම තුළ බවත් ඇමතිවරයා පැවසිය.

'ඒ කණ්ඩායමත් ආණ්ඩුව ඇතුළේ තියා ගැනීම අපේ වෑයමයි '

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි කණ්ඩායමට එහිදී ඡන්දය දුන් දහසය දෙනා මුහුණ දී ඇති ගැටළු බලපාන්නේ නැද්දැයි බීබීසිය ප්‍රශ්නයක් යොමුකළ විට ඊට පිළිතුරු දුන් මහින්ද අමරවීර ඇමතිවරයා "එවැනි ප්‍රශ්නයක් නැතැයි" සඳහන් කළේය.

"නැහැ! අපට කිසිම ප්‍රශ්නයක් ඇති කරලා නැහැ. අපට එන්න කියල තමයි ආරාධනා කරන්නේ. නමුත් අපි උත්සාහ කරන්නේ අපේ අනිත් කණ්ඩායමත් එළියට යවන්න නොවෙයි. අපේ ඒ කණ්ඩායමත් ආණ්ඩුව ඇතුළේ තියා ගන්නයි අපි උත්සාහ කරන්නේ. 

තනතුරු නොගත්තත් අපේ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තියා ගන්නයි, අපේ වෑයම. අපි අද (10) කැබිනට් රැස්වීමට නොගියෙත් ඒ තත්වය ඇතිකර ගන්නයි."

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ආණ්ඩුව තුළ රැඳී සිටීම හෝ නොසිටීම ඔවුන් විසින්ම තීන්දු කළ යුතු අතර ඒ පිළිබඳ තීන්දුවක් ගත යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් නොවන බව මහින්ද අමරවීර ඇමතිවරයාගේ අදහස වෙයි.

'අගමැති ඉවත් කරන වැඩ පිළිවෙල අපැහැදිලියි'
Mahinda Gang

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට භාර දුන් අවස්ථාව

දහනව වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිවරයකු පදවියෙන් ඉවත් කරනු ලැබීම සඳහා ඇති වැඩ පිළිවෙල අපැහැදිලි බවත් මහින්ද අමරවීර ඇමතිවරයා මෙම සාකච්ඡාවේ දී සඳහන් කළේය.
"ඒ කමිටුවල අපේ කණ්ඩායමුත් සිටියා. සියලු කණ්ඩායම් සිටියා. ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමකුත් සිටියා. ජනාධිපති ඉවත් කරන වැඩ පිළිවෙළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වල තියෙනවා.

ඒත් අගමැති ඉවත් කෙරෙන වැඩ පිළිවෙළ පැහැදිලි නැහැ. 

මේ වතාවේ තමයි අපටත් ඒක වැටහුණේ," එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධීවර සහ ජලජ සම්පත් භාර ඇමති මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ, බීබීසී සිංහල සේවය මතු කළ ප්‍රශනයකට පිළිතුරු දෙමිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top