Sathosa

ප්‍රාදේශීය දේශපාලකයන්ගේ අනුග්‍රහය ඇතිව දකුණු මුහුදු තීරයේ මාෆියා කල්ලි ක්‍රියාත්මක වන බවට චෝදනා ප්‍රාදේශීය දේශපාලකයන්ගේ අනුග්‍රහය ඇතිව දකුණු මුහුදු තීරයේ මාෆියා කල්ලි ක්‍රියාත්මක වන බවට චෝදනා
Apr 18, 2018

"බීච් බෝයිස්" මාෆියාවක් : සංචාරක කර්මාන්තය දැඩි අනතුරක ! Featured

සංචාරකයන්ට හා හෝටල් හිමියන්ට අඩන්තේට්ටම් කරමින් ප්‍රාදේශීය දේශපාලකයන්ගේ අනුග්‍රහය ඇතිව දකුණු මුහුදු තීරයේ ක්‍රියාත්මක වන මාෆියා කල්ලිවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන මෙන් ශ්‍රී ලංකා හෝටල්හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

මුහුදු තීරයේ ගැවසෙන 'බීච් බෝයිස්ලාට' එරෙහිව කටයුතු කිරීමේදී හෝටල් කළමනාකරුවන් පවා තර්ජන ආදියට ගොදුරු වන අවස්ථා තිබෙන බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත අප්‍රියෙල් දාහත් වෙනි දින කොළඹ සංචාරක අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්, සංචාරකයන්ට සහ හෝටල් පරිපාලනයට හානිදායක කණ්ඩායම් පාලනය කිරීමට කටයුතු නොකළොත් ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි අහිතකර බලපෑමක් එල්ල වෙනු ඇතැයි එම මාධ්‍ය හමුවට එක්ව සිටි ජෝන් අමරතුංග සංචාරක අමාත්‍යවරයාට සහ පොලිස් නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

පසුගිය අටවැනිදා අලුයම මිරිස්ස ප්‍රදේශයේ දී විදේශික කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කිරීම සහ තවත් විදේශිකයකුට පහර දීම සම්බන්ධයෙන් සැක කෙරෙන හය දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ඉහත කී හමුවේ දී පොලිසිය ප්‍රකාශ කළ අතර තවත් කීපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් සඳහන් කෙරුණි.

beach

මිරිස්ස ප්‍රදේශයේ 'surfing' ක්‍රීඩාවේ යෙදෙමින් සිටි ඊශ්‍රායල් ජාතිකයන් පිරිසකට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට


ඊට අමතරව මිරිස්ස ප්‍රදේශයේ 'surfing' ක්‍රීඩාවේ යෙදෙමින් සිටි ඊශ්‍රායල් ජාතිකයන් පිරිසකට පහර දීමක් ගැන පසුගිය පහළොස් වෙනිදා වාර්තා වූ බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර එම පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරෙමින් පවතින බවත් කියා සිටියේය.

දකුණු මුහුදු තීරයේ විශේෂයෙන්ම උනවටුන හා මිරිස්ස යන ප්‍රදේශයන්හිදී දේශීය හා විදේශීය සංචාරකයන්ට හිරිහැර කිරීමේ සිද්ධීන් ගණනාවක් පසුගිය කාලයේ වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වුණේ එකී ප්‍රදේශවල සැරිසරන 'බීච් බෝයිස්' යනුවෙන් හඳුන්වන තරුණයන්ටය.

සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමයේ ලේකම් ප්‍රශාන්ස් බාන්ස් 'බීබීසි'යට අදහස් දක්වමින්, ඉහත කී කණ්ඩායම් සංචාරක මග පෙන්වන්නන්ට දකුණු මුහුදු තීරයේ ඇතැම් කලාපවලට ඇතුල්වීමට පවා ඉඩ නොදෙන බව සඳහන් කළේය.

විශේෂයෙන්ම 'බීච් බෝයිස්ලාගෙන්' සිදුවන හිරිහැර ගැන පැමිණිලි කිරීමට සංචාරකයන් උනන්දු නොවීම නිසා එම කණ්ඩායම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය පවසයි.

JohnAmarathunga 600px 17 01 02
"STF එක එහාට මෙහාට පොඩ්ඩක් ඇවිද්දා නම් ඔය මාෆියාව හොයා ගන්නත් බැරි වෙනවා" සංචාරක ඇමතිවරයා පවසයි

පසුගිය දා වාර්තා වූ මිරිස්සේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අප්‍රියෙල් දහනව (19) වෙනිදා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර "එහෙත් එම අතවරයට ගොදුරු වූ පුද්ගලයන් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණියහොත් එම නඩුව ඉදිරියට ගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වෙන" බව පෙන්වා දුන්නේය.

එම විදේශිකයන්ට අදාළ නඩු කටයුත්ත සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට් පත්, නවාතැන් ඇතුළු සියළු පහසුකම් සංචාරක මණ්ඩලය විසින් දරනු ඇතැයි සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග ප්‍රකාශ කළේය.

දකුණු මුහුදු තීරයේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ ද අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වෙන බව පැවසෙන 'බීච් බෝයිස් මාෆියාවට' එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග ගැන විමසීමේ දී සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග සඳහන් කළේ ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටින බවය.

"STF එක ටික කාලයකට ඒ පැත්තට දාලා එහාට මෙහාට පොඩ්ඩක් ඇවිද්දා නම් ඔය මාෆියාව හොයා ගන්නත් බැරි වෙනවා," ඇමතිවරයා කියා සිටියේය.

'බීච් බෝයිස් මාෆියාව' සමඟ දේශපාලකයන්ට සම්බන්ධයක් ඇද්දැයි තමා නොදන්නා බව පැවසූ ජෝන් අමරතුංග ඇමතිවරයා, කෙසේ වෙතත් එවැනි සිදුවීම් වැළැක්වීමට එම ප්‍රදේශවල දේශපාලන නායකයන් ඉදිරිපත් නොවීම ගැන තමාට ද ගැටළුවක් ඇති බව සඳහන් කළේය.

"ඒ පළාත්වල ඉන්න දේශපාලන නායකයන් මෙවැනි දේවල් නොවෙන්න වගබලා ගන්න ඕන. මොකද? මේ තත්වය බලපාන්නේ ඒ පැත්තේ මිනිසුන්ගේ ආර්ථිකයට" ඇමතිවරයා පෙන්වා දුන්නේය.

සංචාරකයන්ට බහුල වශයෙන් හිරිහැර සිදු කෙරෙන මිරිස්ස ප්‍රදේශයේ ඉදිරි කාලය තුළ විශේෂ සංචාරක පොලිස් මුර පොළක් ස්ථාපිත කරන බව එම අවස්ථාවේ ප්‍රකාශයට පත් විය.

එසේම, දැනට ක්‍රියාත්මක සංචාරක මුරපොලවල් එකොළහට අමතරව තවත් සංචාරක ප්‍රදේශ දහනවයකට ද එවැනි පොලිස් ඒකක ස්ථාපිත වීමට නියමිතව ඇත.

"මේ අවුරුද්දේ සංචාරකයන් ලක්ෂ තිස් පහක් ඒවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වගේ හිරිහැර කිරීම් සිදු නොවීමට අපි වග බලා ගන්න ඕන" ඇමතිවරයා කියා සිටියේය.

Kandy5 600px 18 03 07

මහනුවර සිදු වූ වර්ගවාදී ගැටුම් වලින් සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ලවිය.

මහනුවර සිදු වූ වර්ගවාදී ගැටුම් සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල කළ නමුත් පසුගිය වසරේ මාර්තු මාසය සමග සැසඳීමේ දී මේ වසරේ මාර්තු මාසයේ 24% ක ප්‍රමාණයකින් සංචාරකයන් වැඩි වී ඇති බවත් ජෝන් අමරතුංග අමාත්‍යවරයා පවසයි.

සැම විටම සංචාරක අමාත්‍යංශයේ ලියාපදිංචි අංශ සමග කටයුතු කරන ලෙස විදේශ සංචාරකයන්ගෙන් ඉල්ලා සිටි ඇමතිවරයා, අනවශ්‍ය පුද්ගලයන් ඇසුරු කිරීමට යාමෙන් ඉහත කී ආකාරයේ අනවශ්‍ය ගැටලුකාරී තත්වයන් ඇති වන බවත් සඳහන් කළේය.

(බීබීසී සිංහල සේවය )

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top