Apr 21, 2018

"16 පිල" ශ්‍රීලනිප අයිතිය ඉල්ලයි ! Featured

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී විපක්ෂයට එක්වීමට තීන්දු කළ ශ්‍රිලනිප මන්ත්‍රීන් 16 දෙනා ශ්‍රීලනිප යේ අයිතිය තමන්ට ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය බදාදා හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නිවසට රැස්වූ මෙකී මන්ත්‍රී පිරිස අදාළ තීන්දුවට එළැඹ ඇති බවද පැවසේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කර ඇති අතර පසුව එම කණ්ඩායමේ මන්ත්‍රීන් හය දෙනකුට වහා ලන්ඩනයට පැමිණ තමන් හමුවන්නැයි ජනාධිපතිවරයා දැනුම් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

එම ඇරුයුම ලැබී ඇත්තේ අනුර යාපා, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන්ටය.

එහෙත් මෙම ඇරැයුම අනුව හදිසියේම අදාළ සාකච්ඡාව සඳහා ලන්ඩනයට ගියේ චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන් පමණි.

දුමින්ද - අමරවීර ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත්කරන්න..

16 පිලේ දූතයින් දෙදෙනා තම කණ්ඩායමේ තීන්දුව ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවද පැවසේ.

එහිදී ඔවුන්ගේ ප්‍රධාන යෝජනාවට අමතරව ඉක්මනින් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවන ලෙසත් මුළු පක්ෂයම රජයෙන් ඉවත්විය යුතු බවටත් ඔවුන් යෝජනා කර ඇතැයිද ලන්ඩන් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සිකුරාදා රාත්‍රී ලන්ඩන් පාර්ක්ලේන් හිල්ටන් හෝටලයේ පැවති හමුව සඳහා ජනාධිපතිවරයා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන පිරිසට ඇරයුම් ලැබී ඇති බවද පැවසේ.

මෙහිදී ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක සහ සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන්ට අවශ්‍ය ආකාරයට පක්ෂය මෙහෙයැවීමට ඉඩ නොදෙන ලෙසත් ඔවුන් අදාළ තනතුරුවලින් ඉවත් කරන ලෙසත් දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

ඩිලාන් - චන්දිම ගියේ ඇයි ?

මේ අතර ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ ඩිලාන් පෙරේරා හා චන්දිම වීරක්කොඩි එංගලන්තයට ගොස් ඇත්තේ පෞද්ගලික සංචාර වලට බවයි.

චන්දිම මහතා සිය එංගලන්තයේ අධ්‍යාපනය ලබන සිය පුතු හමුවීමටත්, ඩිලාන් මහතා සිය හිතවතියක හමුවීමටත් ගොස් ඇති බවයි.

කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වන ආකාරයට ඩිලාන් හා චන්දිමට එංගලන්ත වීසා ලබා ගැනීමට ජනාධිපති කාර්යාලය මැදිහත්ව ඇති බවයි.

සබැඳි පුවත්
ශ්‍රීලනිපය යළි රාජපක්ෂවරු අතට
16 කණඩායමේ දෙන්නෙක් ජනපති හමුවීමට ලන්ඩන් ගිහින් !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top