Pasidol

Sathosa

Apr 26, 2018

හෙළ ගොවියෝ කුළී වැඩ සොයයි

කන්න හතරක නියඟයත් සමග පොර බදිමින් රජරට හේන් පිටිවල අස්‌වනු සරුකර ගත්තද තම කෘෂි අස්‌වනු සඳහා නිසි මිලක්‌ නොමැති වීමෙන් ඵල නෙළීමකින් තොරවම කෘෂි වගාවන් අතහැර දමා ඇතැයි තිරප්පනේ මීවැල්ලෑව ගොවීහු පවසති.

අද වන විට එළවළු තොග වෙළෙඳ පළේ වට්‌ටක්‌කා කිලෝවක්‌ රු. 8-10, බටු කිලෝවක්‌ රු. 20-30, කැකිරි කිලෝවක්‌ රු. 20-30, අමු මිරිස්‌ රු. 25-35 අතර මිල ගණන්වලට පහළ බැස ඇතැයි ඔවුන් පවසයි.

කිලෝ 6000 ක පමණ වට්‌ටක්‌කා හේනක්‌ අතහැර දමා ඇති එස්‌. ජයරත්න ගොවි මහතා,

“අපිට කන්න හතරක්‌ම වැස්‌සේ නැහැ. නමුත් නියඟයත් එක්‌ක ඔට්‌ටු වෙලා මේ සැරේ මම වට්‌ටක්‌කා අක්‌කර තුන් කාලක්‌ විතර හිටෙව්වා. රුපියල් අසූදාහක්‌ විතර වියදම ගියා. නියඟයෙනුත් බේරගෙන අලින්ගෙනුත් බේරගෙන වට්‌ටක්‌කා ටික කඩන්න කියලා මිල හොයලා බලන කොට රුපියල් හතයි අටයි. උපරිම වුණොත් දහයයි. කඩන්න කුලියම වෙනවා පිරිමියෙකුට නම් රු. 1300 යි, ගැහැණියකට නම් 1200 යි. බෑග් එකට රුපියල් 30 යි. එක කෑල්ලකට (එක්‌ එළවළු බෑග් එකක්‌) දඹුල්ලට අරං යන්න රුපියල් 150 යි. ඉතිං මෙහෙම වියදම් කරලා වට්‌ටක්‌කා කඩලා මොකටද එහෙමම වැල්වල කුණුවෙන්න හරිනවා ඇරෙන්න. වට්‌ටක්‌කා කිලෝ 6000 ක්‌ පමණ කඩන්න පුළුවන් හේන අතඇරියා. මෙහෙම ගියොත් අපිට වහ කන්න තමයි වෙන්නේ. අපි මේවා බැංකුවලට ණයවෙලා කරලා තියෙන්නේ. ණය ගෙවාගන්න දැන් විදිහක්‌ නැහැ. අපි අන්ත අසරණයි“.

කේ.බී. පියසේන ගොවි මහතා,

“මම අවුරුදු විස්‌සක්‌ තිස්‌සේ ගොවිතැන් කරනවා. අපේ ජීවිත ගෙවෙන්නේ මේ හේන් පිටිත් එක්‌ක. නමුත් දුක්‌ මහන්සිවෙලා වගා කරලා ගන්න අස්‌වැන්න සාධාරණ මිලකට අලෙවි කරගන්න ක්‍රමයක්‌ නැහැ. අද වෙළෙඳ පොළේ කැකිරි කිලෝවක්‌ ගන්නේ රු. 20-30 යි, අමු මිරිස්‌ 25-35, බටු 20-30 යි, මෙහෙම මිල ගණන්වලට විකුණලා ලාභ ලබනවා තියා ගත්ත ණය ටිකවත් පියවාගන්න බැහැ. එළවළු මිල අඩු වුණාට තෙල් පොහොරවල නම් මිල කවදාවත් අඩුවෙන්නේ නැහැ“.

ආර්. රංජිත් උපනන්ද ගොවි මහතා,

“ගමේම ගොවි පවුල් 200 කට වඩා ඉන්නවා. දැන් බොහෝ දෙනෙක්‌ ගොවිතැන නතර කරලා කුලී වැඩට යනවා. ඊයේ පෙරේදත් කොල්ලෝ පහළොවක්‌ විතර කොළඹ රස්‌සාවලට ගියා. එයාලා හොඳට මහන්සි වෙලා වැඩ කරපු තරුණ ගොවියෝ. මගේ තක්‌කාලි හේනත් සම්පූර්ණයෙන්ම අත්ඇරියා. වියදම් කරලා කඩලා මිලක්‌ නැතිව දෙන්න බැහැ. මාළු මිරිස්‌ හේනක්‌ කළා. වියදම එක්‌ලක්‍ෂ විසිපන්දාහක්‌ විතර ගියා. මිරිස්‌ කිලෝව රු. 35 යි. අපෙන් තුට්‌ටු දෙකට ගත්තට සිල්ලරට දෙද්දි නං එළවළු ගිනි ගණං“.යැයි පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top