Pasidol

Sathosa

Apr 27, 2018

අතුරුදහන් කරන ලද අයගේ ඥාතීන්ගේ නීතිඥවරියට තර්ජන (වීඩියෝ) Featured

රාජපක්ෂ පාලන සමයේ කොළඹ සහ අවට ප්‍රදේශ වලින් අතුරුදහන් කරන ලද පිරිසක් සොයා ගන්නට නීතියේ පිහිට පතා සිටින ඥාතීන් වෙනුවෙන් දිගටම පෙනී සිටින නීතිඥවරියකට එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් අධිකරණය විමර්ශනයක් පවත්වමින් සිටී.

දුරකතනයෙන් තමන්ට එල්ලවී ඇති තර්ජන සහ අතුරුදහන් එකොලොස් දෙනකු ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටීම අතර සෘජු සම්බන්ධයක් වේ දැයි ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවිය විමර්ශනයක් පවත්වන බව නීතිඥ අචලා සෙනෙවිරත්න හෙළි කර සිටියේ 25 බදාදා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවය.

එම අතුරුදහන් කිරීම් පිළිබඳව සැක කෙරෙන නාවික හමුදා නිලධාරීන්ට එරෙහි මූලික නඩු විභාගය මැයි මස 3 වැනිදා ආරම්භ කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න තීරණය කර තිබේ.

අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් තවමත් ජීවතුන් අතර සිටින බව ඥාතීන්ගේ විශ්වාසයයි.

“අගතියට පත් පාර්ශවයේ ඥාතීන් විශ්වාස කරනවා ඔවුන්ට මේ දරුවන් නැවත ලබා ගැනීමට හැකිවේවි කියලා,” නීතිඥ අචලා සෙනෙවිරත්න මාධ්‍යවේදීන් හා කියා සිටියාය.

අතුරුදහන් 11

රජිව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, ඩිලාන් මොහොමඩ්, මොහොමඩ් සජිත්, තිලකේෂ්වරම් රාමලිංගම්, තාග්‍යරාජා ප්‍රභාකරන්, සුසේයි පුල්ලේ අමලන් ලියෝන්, සුසෙයි පුල්ලේ රෝෂාන් ලියෝන්, කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීඩ්, කස්තුරි ආරච්චිලාගේ ඇන්ටනි සහ අලි අන්වර් 2008-2009 කාල වකවානුවේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් සැක කෙරෙන්නේ නාවික හමුදා නිලධාරීන් පිරිසකි.

කොමදෝරු ඩී කේ පී දසනායක, ලුතිනන් කොමදෝරු සම්පත් නිලන්ත  මුණසිංහ හෙවත් නේවි සම්පත්, ලුතිනන් කොමදෝරු රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ, තිලකරත්නගේ ලක්ෂ්මන් උදය කුමාර, කාරියවසම් ගම්හේවගේ නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, තම්මිට ඉහළගෙදර ධර්මදාස සහ රාජපක්ෂ පතිරණගේ කිත්සිරි යන සැකකාර නිලධාරීන් හත් දෙනා ඇප ලබා නිදහස්ව සිටිති.

පසු කලෙක අත් අඩංගුවට ගන්නා ලද කස්තුරිආරච්චිගේ ගාමිණී හෙවත් අම්පාරේ ගාමිණී සහ මුතුවාහැන්නදි ගේ අරුණ තුෂාර මෙන්ඩිස් මූලික නඩු විභාගය ආරම්භ වන දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

අවුරුද්දකට ආසන්න කාලයක් උසාවිය මගහැර සිටින ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ඇත.

 


(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top