Pasidol

Sathosa

May 04, 2018

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ්

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සතුව පවතින යන්ත්‍ර සූත්‍ර ඉන්දියාවේ පෞද්ගලික සමාගමක් වෙත අඩු මිලට විකිණීම සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 20ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් සැකපිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (03) අත්අඩංගුවට ගැණුනු ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පි. දිසානායක ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකොට ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසුයේ, ඔවුන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට වහාම පියවර ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දසනායක මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

තමන් වැරැද්දක් කර ඇත්නම් සිය තනතුරෙන් ඉල්ලා අස්වීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා කළ යුතු සුදුසුම දේ බවද ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ අතර වත්මන් රජය තනතුරු තානාන්තර නොබලා වැරැදි කරන රජයේ ඉහළ නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන බව සහ දූෂණයට විරුද්ධව කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

අල්ලසට දුෂණයට එරෙහිව රජය කටයුතු කිරීමේදි පුද්ගලයකුගේ තරාතිරම නොබලා කටයුතු කරන බවට මෙය කදිම උදාහරණයක් බව කී ජනාධිපති ලේකම්වරයා ජනාධිපතිවරයාත් සිටින්නේ එම අදහසේම බව වැඩිදුරටත් පැවැසීය.

ජනාධිපතිගේ මතය මෙන්න

මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ සේවය වහාම අත්හිටුවන ලෙසත් ඔවුන්ට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ සියලු බලධාරීන්ට නියෝගකර තිබේ.

අල්ලස් ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අයි.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක යන මහත්වරුන් අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම ගැන ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් එබව සඳහන් වේ.

අල්ලස් හා දූෂණයට එරෙහි රජයේ ස්ථිරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැදගත්කම මෙයින් තහවුරු වන බව එම නිවේදනයේ දැක්වේ.

නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම් දරන රජයේ නිලධාරීන්ට සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම පිණිස වර්තමාන රජය යටතේ ඇති කර තිබෙන ස්වාධීන සහ අපක්ෂපාතී පසුබිම පිළිබඳව තමා සතුටු වන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top