'රවිට එරෙහි චෝදනා ඇත්නම් දෙසතියක් තුල ගෙන්න, නැත්නම් දේශපාලන තීන්දුවක් ගන්න' - එජාප පසුපෙළ කියයි   'රවිට එරෙහි චෝදනා ඇත්නම් දෙසතියක් තුල ගෙන්න, නැත්නම් දේශපාලන තීන්දුවක් ගන්න' - එජාප පසුපෙළ කියයි  
May 08, 2018

'රවී ගැන දේශපාලන තීන්දුවක් ගන්න' - එජාප පසුපෙලින් බලපෑම් 

එක්සත් ජාතික පක්ෂ උප නායක රවි කරුණානායක මහතාට එරෙහිව චෝදනා ඇත්නම් සති 2ක කාලයක් ඇතුළත චෝදනා ගොනු කරන ලෙස එජාප පසුපෙළ මන්ත්‍රිවරු කිහිප දෙනෙකු ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයි 'මව්බිම' පුවත්පත වාර්තා කරයි.


හිටපු මුදල් අමාත්‍ය රවි කරණානායක මහතාගේ නම සඳහන් වූ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර මාස 4ක් ගත වී ඇතත් ඒ ගැන ගත් පියවරක් නැතැයි එම මන්ත්‍රිවරු පවසති.

ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරුණේ මෙම වසරේ ජනවාරි මස 05 වැනි දිනය.

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම් වාර්තාවේ කරුණු අනුව එක්සත් ජාතික පක්ෂ උප නායක රවි කරුණානායක මහතාට තමන් දැරූ කැබිනට් ඇමැති ධුරයෙන්ද ඉල්ලා අස්වීමට සිදුවිය.

ජනාධිපති කොමිෂන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා මාස 4ක් ගතවුවත් මෙතෙක් පියවර නොගැනීම ප්‍රබල සැක මතුකරන තත්ත්වයක් යැයිද පසුපෙළ මන්ත්‍රිවරුන් පෙරේදා (06දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර ඇත.

බැඳුම්කර වාර්තාව ගැන නීතිපති දෙපාර්තමේන්තුව සති 2ක් ඇතුළත චෝදනා නොගතහොත් රවී කරුණානායක මහතාට යලි ඇමති ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් දේශපාලන තීන්දුවක් ගැනීමට ක්‍රියාකරන්නැයිද පසුපෙළ මන්ත්‍රිවරු කිහිප දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.

නීතිපතිගේ නිර්දේශයක් ?
මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසුයේ, මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා බැඳුම්කර චෝදනාවලින් නිර්දෝෂී කරමින් නීතිපතිවරයා ගෙන් නිර්දේශයක් ලැබුන වහාම ඔහුට අමාත්‍ය ධුරයක් ලබාදෙන බවට අගමැතිවරයා සහතික වී ඇති බවයි.

කෙසේවුවද මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලු ජනාධිපති කොමිසම රවී කරුණානායක මහතා ඊට වගකිව යුතු බවට සඳහන් කර නොමැත.

එසේම, මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ වූවේදැයි සොයා බැලීමට එම පක්‌ෂය විසින් පත් කළ මාරපන කමිටුවේ වාර්තාව මගින්ද රවී කරුණානායක මහතා නිර්දොශිකර තිබිණ.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට ඇමති ධුරයක් ලබාදීමට අගමැතිවරයා නිර්දේශ කර ඇතත් ජනාධිපතිවරයා ඊට විරෝධය පළකර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කල විමසීමේදී ඔහු කියා සිටියේ අගමැතිවරයා ගෙන් එවැනි නිදේශයක් මෙතෙක් ලැබී නැති බවයි.


සබැඳි පුවත් :
රවී අලුත් 'ගේමකට' සැරසේ ; මැයි දින රැලිය වර්ජනය කරයි 
රවීගේ ඇමතිකම ගැන තීන්දුව එජාප කෘත්‍යාධිකාරීයට !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top