May 09, 2018

'ජනපතිගේ විශ්‍රාම ගැනීම තීරණය කරන්නේ ජනතාව' - ජී. එල්.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විශ්‍රාම ගන්නවාද නැද්ද? යන කාරණය තීරණය කරන්නේ ජනපති නොව මේ රටේ ජනතාව යෑයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පවසයි.

2020 දී විශ්‍රාම ගැනීමට තමාගේ කිසිම අදහසක්‌ නැතැයි ජනාධිපතිවරයා මැයි දින රැලිය අමතමින් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජී. එල්. පීරිස්‌ මහතා ඊයේ (08දා) පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

 සිරිසේන ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාව පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලි වන බවත්, අවුරුදු තුනකට පසු ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාව සියයට 12 ක මට්‌ටමට පහතට වැටුණු බවත් මෙයට පෙර මේ රටේ සිටි විධායක ජනාධිපතිවරු කිසිවකුත් මෙවැනි ඉරණමකට පත්ව නැති බවත් හෙතෙම කීවේය.

 2019 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඊළඟ ජනාධිපතිවරණයේදී සිරිසේන ජනාධිපතිවරයා අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වුවහොත් ඔහු ලබන ජන්ද අනුපාතය සියයට 5 මට්‌ටමට බැසීමේ විශාල අවදානමක්‌ ඇතැයි ද හෙතෙම පැවසීය.

 ඒ කෙසේ වෙතත් ඊළඟ ජනාධිපතිවරණයට සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත් නොවන බව ඉතා පැහැදිලි බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top