May 11, 2018

'ගම්පෙරලිය' : බිලියන 30ක ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ජාලයක්

රුපියල් බිලියන 30ක් තරම් අති විශාල මුදලක් වැය කොට ලබන අගෝස්තු මාසයේ දී මුළු රටම ආවරණය කරමින් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ජාලයක් “ගම්පෙරළිය” නමින් ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

මේ 'ගම්පෙරළිය' ජාතික වැඩසටහන යටතේ සෑම ගමකම හරිත උද්‍යානයක්, පාරවල්, බෝක්කු, කුඩා වැව්, පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු සියලු යටිතල පහසුකම් සංවර්ධනය කරන බවද මංගල සමරවීර මහතා පැවැසීය.

ගමේ ජනතාවගේ මූලික යටිතල පහසුකම් අවශ්‍යතා ඉටුකරන දැවැන්ත සංවර්ධනයක් ‍ඉදිරි මාස 18 තුළ රටේම ක්‍රියාත්මක කරන බව කී ඇමැතිවරයා ඒ සඳහා ඉතිහාසයේ රජය වෙන්කළ වැඩිම මුදල මෙය වනු ඇතැයි ද කීය.

කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශයේ ඊයේ (10) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මංගල සමරවීර මහතා මේ අදහස් පළ කෙළේය.

ගම්පෙරළිය වැඩසටහන යටතේ සෑම ගමකටම පුස්තකාලයක්, අංගසම්පූර්ණ ප්‍රජා ශාලාවක්, කුඩා වැව් විසිදෙදහසක් ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු කරන බවද ඇමැතිවරයා කීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top