May 14, 2018

16 කණ්ඩායමේ ගැටුමක් - මහින්දට සහයදෙන බව ජෝන් කියයි Featured

ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණයකදී තමන් මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු හා රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පෙරේදා (12දා) රත්නපුරේ දී පැවසීය.

යහපාලන ආණ්ඩුවේ ඇමතිධූර අතහැර විපක්‍ෂයේ අසුන් ගැනීමෙන් පසු රත්නපුර ආසන්නයට පැමිණි අවස්ථාවේ පැවති පිළිගැනීමේ උත්සවයකදී සෙනෙවිරත්න මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ය.

“අපි බෙදී වෙන්ව සිටීමෙන් අපි කාටවත් වාසියක් අත් වෙන්නේ නෑ. පහුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ඊට හොඳම උදාහරණය. මම ජාතික ආණ්ඩුවට ගියේ පක්‍ෂයේ තීරණ මත මිස පුද්ගල වන්දනාවකට නෙවෙයි. අපි එකතු විය යුතුයි. අවුරුදු දෙකෙ ජාතික ආණ්ඩුව ඉවර වුණ නිසා අපි විපක්‍ෂයට ආවා. මම ඉදිරි මැතිවරණයකදී මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දක්වනවා.”

'මීලග නායකත්වයට එකම සුදුස්සා ගෝඨාභයයි'

මේ අතර ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩකවෙලදී පැවති උත්සව සභාවකදී ඔහු පැවසුයේ, අනාගතයේ නායකත්වයට පත් කල යුතු එකම සුදුස්සා ගෝටාභය රාජපක්‍ෂ මහතා බවයි.

දැනට දෙවසරකට පෙර තමන් මේ බව කියු පසු තමන් හා වාද විවාදවලට පැටළුණු බෙහෝ පිරිස් අද වන විට තම මතය හා එක්ව සිටින බවද ඒ මහතා සදහන් කරයි.

ජෝන්-ඩිලාන් එලිපිට ගැටෙති :

කෙසේවුවද, ඉදිරියේදී නායකත්වය සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කල යුතු බවත් දැනට සිටින එකම සුදුස්සා ඔහු බවටත් ශ්‍රීලනිප 16 කණ්ඩායමේ ජෝන් සෙනෙවිරත්න හිටපු ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශය එම කණ්ඩායම නියෝජනය කරන හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ දැඩි විවේචනයට ලක්විය.

තමන් ඇතුළු 16 දෙනාගේ කණ්ඩායම එවන් තීරණයක් ගෙන නැති බව ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කර සිටියි.
ඔහු එබව කියා සිටියේ හාලිඇල ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.

ජොන් සෙනෙවිරත්න මහතා කියන ඇතැම් කතා වයසේ වැරැද්දට කියන ඒකා යයිද මන්ත්‍රීවරයා එහිදී පැවසිය.

16 දෙනාගේ කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන්නේ කිනම් අපේක්ෂකයෙකුට ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top