Pasidol

Sathosa

May 14, 2018

'පොලිසියට පගාව දුන් කතාව බොරුවක්' - නිශ්ශංක සේනාධිපති

'ඇවන්ට්‌ගාඩ්ගෙන් ජරාව කෑ පොලිසියේ 300 කගේ නම් එළියට' ශීර්ෂ පාඨය යටතේ පසුගිය සති අන්තයේ දී ජාතික පුවත්පතක පලවී ඇති කරුණු මුළුමනින්ම අසත්‍ය බවත් එම පුවත් වාර්තාව තරයේ ප්‍රතික්‍ෂේප කරන බවත් ඇවන්ට්‌ගාඩ් ආයතනය වෙනුවෙන් එහි සභාපති මේජර් (විශ්‍රාමික) නිශ්ශංක සේනාධිපති මහතා අවධාරණය කර සිටී.

ඇවන්ට්‌ගාඩ් ආයතනය කිසිදු අවස්‌ථාවකදී කිසිදු පොලිස්‌ නිලධාරියෙක්‌ වෙත කිසිදු ආකාරයක අල්ලස්‌ ලබා දීමක්‌ සිදුකර නොමැති බවත්, කිසිදු පොලිස්‌ නිලධාරියකු අප ආයතනය වෙතින් අල්ලස්‌ ඉල්ලා නොමැති බවත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින සේනාධිපති මහතා, තවදුරටත් පවසන්නේ තම ආයතනයේ සියලු කටයුතු නීත්‍යනුකූලව සිදුකර ඇති බැවින් සහ ඉදිරියට ද සිදුකරන බැවින් අල්ලස්‌ ලබා දීමට කිසිදු අවශ්‍යතාවක්‌ පැන නොනගින බවයි.

 ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රගර්, දැල්පන්දු වැනි ක්‍රීඩා සඳහා අප ආයතනය උදව් උපකාර ලබා දී ඇති අතර, ඒ සඳහා අදාළ අංශ විසින් තම ආයතනය වෙතින් සිදුකර ඇති ලිඛිත ඉල්ලීම් තමා සතුව ඇති බවත් ඔහු කියා සිටියි.

 මෙවන් පසුබිමක්‌ යටතේදී ප්‍රධාන මාධ්‍ය ආයතනයක්‌ මගින් පළ කරන ජාතික පුවත්පතක මුල් පිටුවේ ප්‍රධාන පුවත ලෙස මෙවැනි අතිශය සාවද්‍ය කරුණු පළකිරීම පිළිබඳව තම ආයතනය මහත් කලකිරීමටත්, විශ්මයටත් පත්ව ඇති අතර මේ පිළිබඳව එම පුවත්පතින් කරුණු විමසා ඇති බවටත් ඔහු සිය නිවේදනය මගින් දැනුම් දී සිටියි.

අල්ලස්‌ සංස්‌කෘතියට පහරදීමට හදපු පුවතක් ලු !

නිශ්ශංක සේනාධිපති මහතාගේ නිවේදනය සම්බන්ධයෙන් 'සංස්‌කාරක සටහනක්' තබා ඇති අදාළ පුවත්පත එම පුවත නිසා සේනාධිපති මහතාට අපහසුවක්‌ වී නම් කනගාටුව පළකරන බව දැනුම් දී ඇත.

එම සංස්කාරක සටහනේ මෙසේ සඳහන් වේ.

'' මතභේදයට තුඩු දී ඇති ඉහත සඳහන් පුවත අප විසින් ප්‍රමුඛස්‌ථානයක්‌ දී පළ කරන ලද්දේ ඇවන්ට්‌ගාඩ් සමාගමේ අයිතිකරු වන මේජර් නිශ්ශංක සේනාධිපතිට කිසිදු ආකාරයකින් අගතියක්‌ කිරීමට හෝ පොලිස්‌ දෙපාර්තමේන්තුව සහ ඔහු අතර විරසයක්‌ ඇති කිරීමට නොව මේ රටේ පවතින අල්ලස්‌ සංස්‌කෘතියට පහර දීමේ අරමුණිනි.

ඇතැම් දේශපාලනඥයන්, ඇතැම් උසස්‌ රාජ්‍ය නිලධාරීන් සහ ආරක්‍ෂක අංශවල සිටින ඇතැම් උසස්‌ නිලධාරීන් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් කඩා වඩා ගැනීමේ සිරිතක්‌ මේ රටේ තිබේ.

එයට ඇති ආසන්නම උදාහරණය වන්නේ ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානියා සහ දැව සංස්‌ථාවේ සභාපතිවරයා කන්තලේ සීනි සමාගමේ අයිතිකරුවන් ගෙන් රුපියල් කෝටි 10 ක අල්ලසක්‌ ඉල්ලා එයින් කෝටි 2 ක්‌ ලබා ගෙන ගණන් කරමින් සිටියදී අල්ලස්‌ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වීමය.

එය නිශ්ශංක සේනාධිපති මහතා වැනි ව්‍යාපාරික ප්‍රජාවට නොවිය යුතු බව අපගේ මතය විය.

ඉහත සඳහන් පුවත නිසා සේනාධිපති මහතාට අපහසුවක්‌ වී නම් අපි ඒ ගැන කනගාටුව පළකරමු.

එසේම අල්ලස්‌ සංස්‌කෘතියට පහරදීමට අප ගන්නා උත්සාහය සේනාධිපති මහතාට නොවැටහීම ගැන ද අප තුළ ඇත්තේ මහත් සංවේගයකි.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top