Sathosa

May 14, 2018

"අනේ මහත්තයෝ ජනාධිපතිගෙ ඇස් අරින්න“ ආදිවාසි මිත්තණිය

මවුපියන් හැරදමා ගොස් සිටින දියණියන් දෙදෙනකු මීටර් පන්සියයක් පමණ නුදුරින් පිහිටි පාසලට ඇතුළත් කිරීමට වසර එකහමාරක් තිස්සේ වෙර දරන ආදිවාසී මිත්තණියක් පිළිබඳ පුවතක් පොළොන්නරුව වැලිකන්ද සෙවණපිටිය ගම්මානයෙන් වාර්තාවේ.

නව හැවිරිදි එන්.ජී. තරුණිකා ප්‍රබෝදනී සහ හත් වියැති ඉමල්කා සංජීවනී යන දියණියන්ගේ මවුපියන් මීට වසර පහකට පමණ ඉහතදී ඔවුන්ව තනිකර දමාගොස් වෙනත් විවාහයක් කරගෙන ඇත.

එතැන් සිට අසල්වාසීන්ගේ උදවු උපකාර මත මිත්තණිය විසින් ලොකු මහත් කරගත් තම මිනිබිරියන් දෙදෙනාට අවශ්‍ය කළ සුදු ගවුම් දෙකක්ද මීට වසරකට පෙර මසා ඇත්තේ පාසලට ඇතුළත් කිරීමේ අරමුණිනි.

මේ පිළිබඳව අදහස් දක්වන 59 වියැති වී. ජේන්නෝනා මිත්තණිය,

"මහත්තයෝ අපි පරම්පරාවෙන්ම ආදිවාසීන්. එදා ඉඳලම පදිංචි වෙලා ඉන්නේ මේ ගමේ. මේ දරුවන්ගේ අම්මා, තාත්තා මීට අවුරුදු පහකට ඉස්සර මා ළඟ මේ දරුවන් තනි කරලා දාලා ගියා. ඉතින් මම එදා ඉඳලම අනුන්ගේ පිහිටෙන් මේ දරුවන්ව පෝෂණය කළා. මොකද මටත් වැඩක් පළක් කරගන්න බැරි තත්ත්වයේ ඉන්නේ. ළමයි දෙන්නට සුදු ගවුම් දෙකකුත් මීට වසරකට උඩදී මම මහලා තියාගෙන හිටියේ. දරුවෝ දෙන්නා සෙවණපිටිය ඉස්කෝලයට දාන්න ගියාට පස්සේ විදුහල්පතිතුමා එදා ඉඳලම කියන්නේ පන්තියේ ළමයි වැඩියි ඉඩ මදි කියලා. මට හතර පස්වතාවක්ම ඔහොම කිව්වා. දරුවෝ දෙන්නම හවසට ළඟ ගෙදරකට ගිහින් ඒ ඉස්කෝලයට යන ළමයකුගෙන් අහගෙන ඉගෙන ගන්නවා. පොඩි දුවට දැන් වයස අවුරුදු හතයි. ලොකු දුවට නවයයි. මේ දෙන්නා එකවසරටයි - තුන වසරටයි යනකන් කළුතර පැත්තේ ඉස්කෝලයට ගියා. අම්මා තාත්තා දාලා ගිහින් මා ගාවට ආපුදා ඉඳං මම සෙවණපිටිය ඉස්කෝලයට දාන්න හදනවා. නමුත් බාර ගන්නේ නැහැ. අනිත් ළමයි ඉස්කෝලේ යනවා දකිද්දි මේ ළමයි දෙන්නත් ඉස්කෝලෙ යන්න ඕනේ කියලා අඬනවා.

"මම ලොකු කරදර ගොඩක් මැද්දේ ජීවත් වෙන්නේ. මේ ගෙදරත් 1983දී "සෙත්සවිය" කියලා සංවිධානයකින් මට හදලා දුන්නේ. ඒ කාමරයත් දැං හොඳටම ගරා වැටිලා. වැසි දිනවලට තෙමෙනවා. ලයිට් බිල 9500ක් ගෙව්වේ නැහැ කියලා ළගදි ලයිට් කපලා ගියා. රෑට කුප්පි ලාම්පුවේ එළිය විතරයි. මගේ ඇස් දෙක පිය වෙන්න ඉස්සර මේ දරුවෝ දෙන්නා ඉස්කෝලයකට දාලා උගන්වා ගන්න තිබුණා නම් ඒ ඇති මට. මම මේ ගැන ග්‍රාමසේවක මහත්තයා දැනුවත් කළා. ඒ මහත්තයා වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්ට කීවා. වැලිකන්ද කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා දැනුවත් කළා. දැන් කොහොම හරි පොඩි ළමයා එක වසරට දාලා දෙන්නම් කියලා එක්ක එන්න කීවා. අනේ මහත්තයෝ මේක පත්තරේ දාලා ජනාධිපතිවරයාගෙයි, අධ්‍යාපන ඇමැතිතුමාගෙයි ඇස් අරවලා මගේ දරුවෝ දෙන්නා ඉස්කෝලෙට දාගන්න උදවු කරන්න පිංසිද්ධ වෙයි"

අප මේ පිළිබඳව සෙවණපිටිය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති රංජිත් ගුණරත්න මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී මෙලෙස කීය.

"ඒ ළමයි දෙන්නගේ මවුපියන් නැහැ. භාරකරුවකු නැතිව දරුවෙක් පාසලකට ඇතුළත් කරගන්න නීතියේ ඉඩකඩ නැහැ. ආච්චිගේ භාරයේ දරුවන් ඉන්නවා කියලා කිසි ලියවිල්ලක් නැහැ. අනික පන්තියකට ළමයි හතළිහකට වඩා ගන්න බැහැ. නීතිමය ගැටලු ගොඩයි. වැලිකන්ද කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ඉල්ලීම මත එක දරුවෙක් ඇතුළත් කර ගත්තා. අනිත් දරුවත් ඇතුළත් කරගන්න ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය අනුව ඉදිරියේදී භාර ගන්නවා."

අප මේ සම්බන්ධයෙන් වැලිකන්ද කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සුඛිත් රණසිංහ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකට පැවැසුවේ දරුවන් දෙදෙනා පාසලට ඇතුළත් කර ගැනීමට අවශ්‍ය උපදෙස් විදුහල්පතිවරයාට ලබාදී ඇති බවයි. එමෙන්ම පන්තියේ ඉඩකඩ හා ළමයින්ගේ වැඩිවීම නිසා දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමට නොහැකිව තිබෙන්නට ඇති බවද ඔහු කියා සිටියේය.

(මව්බිම)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top