Pasidol
Sathosa
May 16, 2018

ධීවරයෝ ඊයේත් මුහුදු නොයති

රජය මගින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ඊයේ (15 දා) දිනයේ ද දිවයින පුරා ධීවරයන් විශාල පිරිසක්‌ මුහුදු යැමෙන් වැළකී සිටි බව සමස්‌ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පැවසීය.

මේ නිසා බේරුවල සිට පුත්තලම දක්‌වා මුහුදු තීරයේත් හම්බන්තොට සහ මන්නාරම ඇතුළු ප්‍රදේශ රැසකත් ධීවර වරායන් සහ තොටුපළවල් පාළුවට ගොස්‌ තිබූ අතර මාළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ තිබිණි.

 අනිද්දා සිට දෙන බව කියන ඉන්ධන සහනාධාරය නොකඩවා ලැබෙනු ඇතැයි තමන්ට කිසිදු විශ්වාසයක්‌ නැති බවත් ඒ සඳහා නිසි ක්‍රමවේදයක්‌ ඉදිරිපත් කර නොමැති බවත් කියමින් ඊයේ ධීවරයන් මුහුදු යැමෙන් වැළකී සිටි බව රත්න ගමගේ මහතා සඳහන් කළේය.

 පසුගිය ආණ්‌ඩුවද 2012 වසරේ ඉන්ධන මිල ඉහළ දමා ධීවරයන්ට ඉන්ධන සහනාධාරය ලබා දුන් බවත් එය ඉතා කෙටි කලකින් නතර කළ බවත් පැවසූ රත්න ගමගේ මහතා මෙවරත් සිදුවන්නේ එවැනිම රැවටීමක්‌ බවද කීවේය.

සම්ප්‍රදායික ධීවරයන් (එන්ජින් රහිත) ලක්‍ෂ දෙකහමාරක්‌:

මේ වනවිට සම්ප්‍රදායික ධීවරයන් (එන්ජින් රහිත) ලක්‍ෂ දෙකහමාරක්‌ පමණ සිටින බවත් භූමිතෙල් මිල ඉහළ දැමීම ඔවුන්ට විශාල ගැටලුවක්‌ බවත් කී රත්න ගමගේ මහතා දිනකට ඩීසල් ලීටර් 45-50 ක්‌ වැය වන එක්‌ දින යාත්‍රාවන්ට සහ ලීටර් 2500 පමණ වැය වන සති දෙකේ බහුදින යාත්‍රාවලට ද දැඩි බලපෑමක්‌ එල්ල වී ඇති බව කීවේය.

 මේ නිසා ඊට විරෝධය දක්‌වමින් තවමත් මුහුදු ගියේ සමස්‌ත ධීවර යාත්‍රාවලින් සියයට පනහක්‌ පමණ බවද රත්න ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top