Sathosa

May 19, 2018

''උතුරේ සාමාන්‍ය වැසියන් ද ඝාතනය වුනා'' - රාජිතගේ කතාව වාසුදේව අනුමත කරයි Featured

දෙපාර්ශ්වයක් අතර යුද්ධයකදී මියයන්නේ "යුද්ධයට යන්නා වූ සොල්දාදුවන් හා සටන්කරුවන් පමණක් නොවන" බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද පවසයි.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා සිදුකල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳ 'බීබීසී සිංහල සේවය' වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමකදී මන්ත්‍රීවරයා එබව කියා සිටියේය.

දශක ගණනාවක යුද්ධයේ විශේෂයෙන්ම අවසාන අදියරේදී රජයේ ආරක්ෂක හමුදා ප්‍රහාරවලින් සාමාන්‍ය ජනතාව මිය ගියේ ද යන්න පිළිබඳ යළිත් වරක් විවාදයක් මතු වී තිබේ. ඒ, පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න කළ ප්‍රකාශයකින් අනතුරුවය.

එහිදී මාධ්‍යවේදියෙකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා, "එදාට විරුවන් සමරනවයි කියල කරන්නේ මොකක්ද? ඒ විරුවන්ගේ අතින් ඝාතනය වුනේ කවුද අපේම දරුවෝනේ," යනුවෙන් කියා සිටියේය.

එහිදී "විරුවන් අතින් ඝාතනය වුනේ ත්‍රස්තවාදීන්" නේ දැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ අවස්ථාවේ "ත්‍රස්තවාදීන් විතරද ඝාතනය වුනේ?," යනුවෙන් අමාත්‍යවරයා එයට පෙරලා ප්‍රශ්නයකින් පිළිතුරු දුන්නේය.

RajithaSenarathne 670px 16 02 18

''විරුවන් සමරනවයි කියල කරන්නේ මොකක්ද? ඒ විරුවන්ගේ අතින් ඝාතනය වුනේ කවුද අපේම දරුවෝනේ''- අමාත්‍ය රාජිත සේනාරත්න, කැබිනට් ප්‍රකාශක

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, දෙමළ කොටි සංවිධානයට එරෙහිව පැවති යුද්ධයේදී පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයක නිරත වූ අවස්ථාවේත් ආරක්ෂක හමුදා අතින් ඝාතනයට ලක්වූයේ "ත්‍රස්තවාදීන්" පමණක් නොවන බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව ඕනෑම ස්ථානයක සිදුවන යුද්ධයකදී එයට ගොදුරුවන සාමාන්‍ය වැසියන් ද මරුමුවට පත්වන්නේය යන්න යථාර්ථය බව ඔහු පැවසීය.

"ඕනෑම යුද්ධයක් පිළිබඳ සත්‍යය එයයි."
VasudewaN 600px 17 01 03

''ඒක ලංකාවෙත් වුන බව අපි පිළිගන්න ඕන, දෙපාර්ශ්වයේම සටන්කරුවන්ගේ ප්‍රහාර, ප්‍රති ප්‍රහාරවලට මැදිවෙච්ච ජනයා යම් විදියකට විනාශයට පත්වුනයි කියල''වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා , ඒකාබද්ධ විපක්ෂය

ඇමති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් 'බීබීසී සිංහල සේවය' වෙත කරුණු දැක්වූ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා, "ඒක ලංකාවෙත් වුන බව අපි පිළිගන්න ඕන, දෙපාර්ශවයේම සටන්කරුවන්ගේ ප්‍රහාර, ප්‍රති ප්‍රහාරවලට මැදිවෙච්ච ජනයා යම් විදියකට විනාශයට පත්වුනයි කියල," යයි පැවසීය.

යුද්ධයේදී ආරක්ෂක හමුදා ප්‍රහාරවලින් කිසිදු සාමාන්‍ය වැසියෙකු මරුමුවට පත්වූයේ නැතැයි මහින්ද රාජපක්ෂ පරිපාලනය යුද්ධය අවසන් වූ අවස්ථාවේ අවධාරණය කළ බව ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී සිහිපත් කළේය.

ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරය වූයේ, රාජපක්ෂ ආණ්ඩුව එවැනි ප්‍රකාශයක් කළේ නම් තමන් ද එය අනුමත නොකරන බවය.

"ලංකා රජයේ යුද හමුදාව හිතා මතා සිවිල් වැසියන් ඝාතනය කිරීමට හෝ නොසැලකිලිමත් ලෙස සිවිල් වැසියන් ඝාතනය වෙන ආකාරයට ක්‍රියා කළේ නෑ කියල කිවුව වගේ තමයි මට මතක." ඔහු සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top