'ආණ්ඩුවේ ඇතැමුන්ට රණවිරුවාගේ සහ ත්‍රස්තවාදියාගේ වෙනස හදුනා ගන්න බැරි වෙලා' - ජනාධිපති   'ආණ්ඩුවේ ඇතැමුන්ට රණවිරුවාගේ සහ ත්‍රස්තවාදියාගේ වෙනස හදුනා ගන්න බැරි වෙලා' - ජනාධිපති  
May 19, 2018

'ත්‍රස්තවාදීන්ගේ බලාපොරොත්තු ඉටුවීමට ඉඩ දෙන්නේ නැහැ' -  ජනාධිපති

රණවිරුවාගේ සහ ත්‍රස්තවාදියාගේ වෙනස හදුනා ගැනීමට ආණ්ඩුවේ ඇතමුන්ට මෙන්ම විපක්ෂයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල ඇතමුන්ට ද නොහැකිවී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කරයි.

ඒ බත්තරමුල්ල - පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවති ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමිනි.

කෙසේවුවද ත්‍රස්තවාදීන්ගේ සහ එල්.ටී.ටී.ඊ යේ බලාපොරොත්තු ඉටු වීමට ඉඩ ලබානොදෙන බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ඇතැම් මාධ්‍ය සහ අන්තවාදී සංවිධාන වැරදි ලෙස විග්‍රහ කරන අයුරින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබ`ද කොමසාරිස්වරයාගේ යෝජනා තුළද රජයේ ආරක්ෂක හමුදාවන්ට යුධ අපරාධ පිළිබ`ද චෝදනා නොමැති බව ජනාධිපතිවරයා එහිදී පැවසිය.

ඒ පිළිබද අද චෝදනා නගන්නේ රටින් පිට සිටින රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එරෙහි එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතවත් පිරිස් විසින් බව ද ජනාධිපති සඳහන් කළේය.

'රණවිරුවන් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටිනවා' 

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඇතැම් දේශපාලනඥයින්ට මෙන්ම මුදල් පසුපස හඹායන ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලටද අද රණවිරුවා සහ ත්‍රස්තවාදියා අතර වෙනස අවබෝධකරගත නොහැකිව ඇති බවයි.

 දේශීය චින්තනය, අපේකම් අපේ උරුමය ශිෂ්ටත්වය සහ සභ්‍යත්වයේ ගෞරවය තුළ සෑමවිටම රට, ජනතාව සහ රණවිරුවන් වෙනුවෙන් කටයුතු කරන්නැයි තමා එම සියලූදෙනාගෙන් ඉල්ලන බව ද එහිදී පැවසීය. 

මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ විරෝධාර රණවිරුවන්ට සැමදා ජාතියේ උත්තමාචාරය හිමිවන අතර, රණවිරුවන්ට ලබා දියහැකි ඉහළම ගෞරවය සහ ප්‍රණාමය පුද කිරීමට මෙන්ම  ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ සුබසාධනය උදෙසා රජය අඛණ්ඩව කැපවන බව ජනාධිපති මෙහිදී අවධාරණය කළේය. 

රණවිරුවා දේශපාලන අතකොළුවක් නොවිය යුතුයි :

අද ඇතැම් රාජ්‍ය මාධ්‍යවලට ද රණවිරුවන් ඇගයීම අතපසු වී තිඛෙන අතර අතැම් රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන ද වත්මන් රජය විසින් රණවිරුවන් වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබ`ද කථා නොකිරීම කණගාටුවට කරුණක් බව ජනාධිපතිවරයා පැවසීය. 

වීරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව මාතෘ භූමිය වෙනුවෙන් කළ කැපවීම් පිළිබ`ද නිරන්තරයෙන් ජනතා මතකය අවදි කරමින් ඔවුන් වෙනුවෙන් ලබාදිය හැකි ගෞරවය පුද කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති එම සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේය. 

රණවිරුවා කිසිවිටෙකත් දේශපාලන අතකොළුවක් නොවිය යුතු අතර, දේශපාලනඥයන්ට බලයට ඒමට, බලයට එන ආණ්ඩු පෙරළීමට හෝ දේශපාලන පක්ෂ සංවිධානය කිරීමට ඔවුන් භාවිතා නොකළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ත්‍රස්තවාදය මතවාදී ලෙස පරාජය වී නැහැ :

එමෙන්ම මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය වුවද තවමත් මතවාදී ලෙස පරාජය වී නොමැති අතර, රටින් පිට සිට තවමත් ඊලාම් රාජ්‍යයක් පිළිබ`ද සිහින දකින එම අන්තවාදින්ගේ සිහින ඉටුකර ගැනීමට තමා කිසිසේත් ඉඩ නොතබන බවයි.

පසුගිය වසර තුන හමාර තුළ රජය සිය මිත්‍ර රාජ්‍යයන්ගේ ද සහය ඇතිව කැපවූයේ රට ඛෙදන එම මතවාදයන් පරාජය කිරීම වෙනුවෙන් බවත් ඉදිරියට ද එම සියලූදෙනාගේ සහය ඇතිව එම වැඩපිළිවෙළ වෙනුවෙන් කැපවන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ සියලූ රණවිරුවන්ට සිය උත්තමාචාරය පිරිනැමීය. 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top