May 21, 2018

"LTTE ය නිසා මටත් කරදර වුණා" - රිෂාඩ්

වෙළෙඳපොළ උච්චාවචනයන් අධ්‍යයනය කොට ගෑස් ඇතුළු ආනයනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

සෑම මාස දෙකකට වරක් ලෝක වෙළෙඳපොළේ හැසිරීම සලකා බලා එම මිල සූත්‍රය සකසන බවත් ඒ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ නොයනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති චීන - ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විජයග්‍රහණ සැමරුම පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ඒ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා,

''රට බේරාගත්ත රණවිරුවෝ සම්බන්ධව ලොකු ගරු කිරීමක් තියෙනවා. නමුත් අද විවිධ අයට විවිධ මත තියෙන්න පුළුවන්. මට තියෙන්නේ ඔවුන් මේ අරන් දුන්න නිදහස පිළිබඳව විශාල ගෞරවයක්. ආර්ථිකය, සංවර්ධනය බිඳ වැටෙන්නේ මේ රටේ මිනිසුන්ගේ තියෙන බෙදීම නිසා. ජාති, ආගම්, කුල වශයෙන් බෙදිලා ඉන්න නිසා. රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් උතුර - දකුණ කියලා වෙනසක් නැතිව සමරන්න ඕන. උතුරේ එල්.ටී.ටී.ඊ.ය නිසා මටත් කරදර වුණා. ඒ නිසා මේ රටේ සාමය ඇති කිරීම සම්බන්ධ රණවිරුවන්ට අප ගරු කළ යුතුයි'' යැයි පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top