''එල්.ටී.ටී.ඊ. ප්‍රහාර නිසා වගේම දෙපැත්තේ යුද ගැටුම නිසා මියගිය අය ඉන්නවා. ඒ අය සමරන එකට අපිට විරුද්ධ වෙන්න බැහැ'' -  මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර ''එල්.ටී.ටී.ඊ. ප්‍රහාර නිසා වගේම දෙපැත්තේ යුද ගැටුම නිසා මියගිය අය ඉන්නවා. ඒ අය සමරන එකට අපිට විරුද්ධ වෙන්න බැහැ'' - මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර
May 22, 2018

''උතුරේ සාමාන්‍ය වැසියන් ද ඝාතනය වුනා'' - රාජිතගේ කතාව ගජධීරත් අනුමත කරයි Featured

''උතුරේ මියගිය සියලු දෙනා එල්.ටී.ටී.ඊ. නෙවෙයි. එල්.ටී.ටී.ඊ. ප්‍රහාර නිසා වගේම දෙපැත්තේ යුද ගැටුම නිසා මියගිය අය ඉන්නවා. ඒ අය සමරන එකට අපිට විරුද්ධ වෙන්න බැහැ. එහෙ ඉඳන් මෙහෙට ගහලා මෙහේ ඉඳන් එහෙට ගහලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්කමක් නැහැ. මේ ජාතීන් අතර මතුවෙන ප්‍රතිවිරෝධය අවසන් කරන්නත් මේ ආණ්ඩුව කටයුතු කළ යුතුයි.'' යයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර මහතා පවසයි.

සමාජවාදී ජනතා පෙරමුණ ඊයේ (21දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ, පසුගියදා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කල ආන්දෝලනාත්මක කතාව අනුමත කරමිනි.

එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහිව පැවති යුද්ධයේදී පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයක නිරත වූ අවස්ථාවේත් ආරක්ෂක හමුදා අතින් ඝාතනයට ලක්වූයේ "ත්‍රස්තවාදීන්" පමණක් නොවන බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව ඕනෑම ස්ථානයක සිදුවන යුද්ධයකදී එයට ගොදුරුවන සාමාන්‍ය වැසියන් ද මරුමුවට පත්වන්නේය යන්න යථාර්ථය බව අවධාරණය කර සිටියේය.
Galagama

''ජනාධිපතිවරයා කියන විදියට මොළේ අමාරුව තියෙන මිනිහට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය දීලා තියෙන්නේ'' -  ගලගම ධම්මරංසි හිමි

කෙසේවුවද සමාජවාදී ජනතා පෙරමුණ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ගලගම ධම්මරංසි හිමියෝ, චන්ද්‍රසිරි ගජධීර මහතාගේ කතාවේ හරයට පරස්පරව අදහස් දක්වමින් රාජිත සේනාරත්න මහතා වැනි ඇමතිවරුන්ට එරෙහිව කඩුව අතට ගන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියහ.

එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසුහ.

''ජනාධිපතිතුමා කියනවා රණවිරුවායි, ත්‍රස්තවාදියායි වෙන්කර ගන්න බැරි වගකිව යුතු දේශපාලන නායකයන් කිහිපදෙනෙක් ඉන්නවා කියලා. ඒ නායකයෝ මොළේ අමාරුකාරයෝ විදියට තමයි ජනාධිපතිතුමා පෙන්වලා දුන්නේ.

ඒකෙන් එතුමා වක්‍රව පැහැදිලිව ප්‍රකාශ කළේ පසුගිය දිනවල ත්‍රස්තවාදියාගෙයි, රණවිරුවාගෙයි වෙනස හඳුනාගන්න බැරුව කතා කරපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ඇතුළු කණ්ඩායම ගැන.

රාජිත සේනාරත්නට තමයි සෞඛ්‍ය ඇමැතිකම දීලා තියෙන්නේ. එතකොට ජනාධිපතිවරයා කියන විදියට මොළේ අමාරුව තියෙන මිනිහට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය දීලා තියෙන්නේ.

ජනාධිපතිතුමාම පත්කරපු අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිවරයකුට එතුමාම කියනවා මොළේ අමාරුව කියලා. එතකොට මේ ඇමැතිවරු ලවා අපේ රණවිරුවන් සමච්චලයට ලක් කරමින් කරන කතා මේ රටේ ජනතාව අහගෙන ඉන්න ඕනි.

මේ රට පාලනය කරන්න දීලා තියෙන්නේ මේ වගේ ඔළමොට්ටල ඇමැතිවරුන්ටද..? අපි ජනාධිපතිතුමාට පැහැදිලි ලෙස කියනවා ඔබතුමාගේ කඩුව දැන්වත් පාවිච්චි කරන්න.''

මාධ්‍ය හමුව ඇමතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රාජා කොල්ලුරේ මහතා, ''රණවිරු සැමරුමට අගමැති රනිල් වික්‍රමසිංහ සහභාගි වුණේ නැහැ. ඔහු ආවේ නැද්ද නැත්තම් ඔහුට එන්න කියලා ආරාධනා කළේ නැද්ද..?'' කියා විමසා සිටියේය.

සබැඳි පුවත් :
''උතුරේ සාමාන්‍ය වැසියන් ද ඝාතනය වුනා'' - රාජිතගේ කතාව වාසුදේව අනුමත කරයි

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top