Pasidol
Sathosa
May 24, 2018

ශ්‍රී පාද සංචාරය තහනම් කරයි

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවාරයේ රාත්‍රි කාලයේ  විදේශික සංචාරකයන්ට ශ්‍රී පාදය සංචාරය කිරීම තාවකාලිකව තහනම් කළ බව නල්ල්තන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ඒ.ආර්.පි.ඒ.කරුණාතිලක මහතා පවසයි.

ශ්‍රී පාද අවාරයේ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය සංචාරය කිරීමට දිනකට විශාල විදෙස් සංචාරකයින්  පිරිසක්  පැමිණෙන බවත්, ඉන් වැඩි පිරිසක් රාත්‍රී කාලයේ සංචාරය කිරීමට උනන්දු වන්නේ අලුයම් කාලයේ ඉර සේවය නැරඹීමේ අදහසින් බවත් සත්ත්ව ආරක්ෂක නිලධාරියා සඳහන් කළේය.

සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා ගත් මෙම පියවර අනුව ඕනෑම සංචාරකයෙකුට නල්ලතන්නිය පොලිසිය දැනුවත් කර  දිවා කාලයේ ශ්‍රී පාදය සංචාරය කිරීමට හැකි බවත් එසේ සංචාරය කරන සංචාරකයන් එදිනම පස්වරු 6 වන විට නල්ලතන්නිය වෙත පැමිණිය යුතු බවත්, මේ සම්බන්ධයෙන් තම කාර්යාලයේ නිලධාරින් අධීක්ෂණයක් සිදු කරන බවත් ඒ.ආර්.පි.ඒ.කරුණාතිලක මහතා කියා සිටියේය.

මෙම නියෝගය සම්බන්ධයෙන් අඹගමුව ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේ , නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ නල්ලතන්නිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය සමඟ සාකච්ඡාවක් පවත්වා මේ පිළිබඳව සංචාරක හෝටල් හිමියන් මගින් සංචාරකයන් දැනුවත් කිරීමට පියවර ගත් බවයි.

පවතින අධික වර්ෂාවත් සමඟ නල්ලත්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා දැඩි අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින බැවින් සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා මෙම ආරක්ෂිත වැඩ පිළිවෙල දියත් කර ඇත.

තවද අවාරයේ ශ්‍රී පාදය කරුණා කරන සංචාරකයන් වෙනුවෙන් ඉදිරියේදී දේශීය ආදායම ඉහළ දැමීම සඳහා නව වැඩපිළිවෙලක් හදුන්වාදීම කෙරෙහි වනජීවි දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති බවද කරුණාතිලක මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top