ඥානසාර හිමි වරදකරු බව තීන්දු කළ අධිකරණය ජුනි 14 වෙනිදා එහිමියන්ට දඬුවම් නියම කරන බව ප්‍රකාශ කළේය. ඥානසාර හිමි වරදකරු බව තීන්දු කළ අධිකරණය ජුනි 14 වෙනිදා එහිමියන්ට දඬුවම් නියම කරන බව ප්‍රකාශ කළේය.
May 24, 2018

සන්ධ්‍යාට තර්ජනය කළ ඥානසාර හිමි වරදකරු වෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවේ පැමිණිලිකාරිය වන ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණය ඉදිරිපිට බැන තර්ජනය කර සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව හෝමාගම අධිකරණයේ ගොනුකළ නඩුවේ පළමු හා දෙවැනි චෝදනාවන් සඳහා උන්වහන්සේ වරදකරු බව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අද (24) තීන්දු කළේය.

ඒ අනුව හෝමාගම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු උදේෂ් රණතුංග මහතා එහි දඬුවම් නියම කිරීම ලබන මස 14 වැනිදාට ලබාදීම සඳහා නඩුව කල්දැමීමට නියම කළේය. 

විත්තිකාර හිමි පෙර ඇප මත මෙහිදී මුදාහරින ලද අතර එම හිමිගේ ඇඟිලි සටහන් ලබා ගන්නා ලෙසද විනිසුරුවරයා හෝමාගම පොලීසියට නියම කළේය. 

2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදී තර්ජනය කළ බවට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබිණි.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ අංක 386 සහ අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම සහ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ එහිමියන්ට එරෙහිව හෝමාගම පොලිසිය මගින් නඩු පවරනු ලැබ තිබිණි.

Sandya Ekneligoda 600 24 05 
"මේක හිංසාවට ලක් වූ සමස්ත ජනතාව ලැබූ ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ," -සන්ධ්‍යා එක්නැලිගොඩ

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කියා සිටියේ, "මේක හිංසාවට ලක් වූ සමස්ත ජනතාව ලැබූ ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. ඒ හිමියන්ට දඬුවම් ලබා දීමේ කාර්ය පවතින්නේ මහේස්ත්‍රාත්වරයා අතේ," යනුවෙනි.

අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳට තර්ජනය කළ බවට එල්ල වූ චෝදනා මත 2016 වසරේදී රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුව ඇප මත නිදහස් කෙරිණ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top