Sathosa

May 28, 2018

''උතුර සමඟ එක්ව වැඩ කිරීමට රජය සූදානම් ''- අගමැති 

යාපනය, කිලිනොච්චි,  මුලතිව් ප්‍රදේශ රටේ සමස්ථ සංවර්ධන ක්‍රියාදාමය සමඟ එකතු කරගැනීම රජයේ අරමුණ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) කිලිනොච්චියේදී පැවසීය.

උතුරු පළාත් සභාව සමඟ එක්ව වැඩකිරීමට රජය සූදානම් බව කී අගමැතිවරයා,  උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු දේශපාලන නියෝජිතයින් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා  කර තිබෙන බවද සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සොයාබැලීම සඳහා පැවති ප්‍රගති  සමාලේචන රැස්වීමේදීය.

කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතාද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට සහභාගී විය.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නැවත පදිංචිකිරීම හා හිංදු ආගමික කටයුතු අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන්, ළමා හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජා, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම සකච්ඡාවට  එක්ව සිටියහ.

වවුනියාවේ සහ වන්නියේ කොටසකට ජලය:

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසූයේ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය සමඟ වවුනියාවේ සහ වන්නියේ කොටසකට ජලය ලබාදීමට හැකිවනු ඇති බවයි.

උතුරට අවේණික කර්මාන්ත දියුණුවට අතදෙමින් උතුරේ ආර්ථිකය ගොඩනගන බව සදහන් කළ අගමැතිවරයා, යුද්ධය අවසන් වී ඇති බැවින් උතුර ජාතික සංවර්ධන සැලසුම් සමඟ ඒකරාශි කරගතයුතු බව පැවසීය.

ජනපති කිහිපවතාවක් උතුරට පැමිණ උතුරේ ඉඩම් ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කළ හෙයින් තමා මෙහි පැමිණියේ ආර්ථික කටයුතු පිළිබඳ අවධානය යොමුකිරීමට යැයිද අගමැතිවරයා සඳහන් කළේය.

ආණ්ඩුවේ යාන්ත්‍රණය ගොඩනැගිලි ඉදිකිරීම හෝ සිමෙන්ති දැමීමෙන් ආදියෙන් ඔබ්බට ගොස් ජනතාවට ප්‍රයෝජනවත් ආශ්‍රීත නිශ්පාදන වැඩිකිරීම බවද අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Ranil North 1

Ranil North 2

Ranil North 3

Ranil North 4

Ranil North 5

Ranil North 6

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top