Jun 05, 2018

TNL විකාශණ කටයුතු අත්හිටවූ හේතුව මෙන්න !

Update - ටී.එන්.එල්. රූපවාහිනි නාලිකාවේ පොල්ගහවෙල විකාශණ කුළුණින් විකාශණ කටයුතු අත්හිටුවා ඇත්තේ නීත්‍යානුකුළ නොවන ආකාරයකට එමගින් විකාශණ කටයුතු සිදු කිරීම නිසා බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC )පවසයි.
ටෙලිශාන් නෙට්වර්ක් (පුද්ගලික) සමාගමට (TNL) අයත් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය අද (05)දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වටලා එම විකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගත් බවත් එසේ සිදු කරනු ලැබුවේ අධිකරණයෙන් ලබා ගත් අවසරයක් මත බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියා සිටියි.
 
පොල්ගහවෙලින් සිදු කරන ලද විකාශනයන් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා ගත යුතු වාර්ෂික විකාශන බලපත්‍රය මෙතෙක් ලබා ගෙන නොතිබීම මෙයට මුලික හේතුව වන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
 
එවැනි නිසි බලපත්‍රයක් නොමැතිව සංඛ්‍යාත විමෝචක උපකරණ භාවිතා කිරීම 1991අංක 25 දරණ විදුලි සංදේශ පනත හා සංශෝධිත 1996 අංක 27 දරණ පනත යටතේ දඬුයම් ලැබිය හැකි වරදක් වන බව ද ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.
 
මේ හේතුවෙන් TNL මාධ්‍ය ජාලයට අයත් පොල්ගහවෙල ප්‍රතිවිකාශන මධ්‍යස්ථානයේ මේ වන විට විකාශන කටයුතු ඇණහිට තිබේ.
ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් අධිකරණ නියෝගයකට අනුව, එම විකාශන මධ්‍යස්ථානයේ තිබු විකාශන උපකරණ පොලිස් බාරයට ගැනීමෙන් පසුවයි.

පොලිසියට ලැබුන පැමිණිල්ලක් මත කල මෙහෙයුමක් :

එම මධ්‍යස්ථානයේ කටයුතු අක්‍රිය වීමත් සමඟ සබරගමුව, වයඹ හා බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක විකාශන කටයුතුවලට අවහිරතා මතුව ඇති බව ද TNL රූපවාහිනි සේවය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ, විදුලි සංන්දේශ නියාමන් කොමිෂන් සභාව විසින් ඊයේ(04) දිනයේ දී අවසරයකින් තොරව විදුලි සංදේශ කුළුණක් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බවයි. 
 
එම පැමිණිල්ල අනුව පොලීසිය විසින් අධිකරණය හමුවේ මෙම කරුණු ඉදිරිපත් කිරීම සිදු කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේය.
 
ඒ පිළිබඳව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අදාළව විමර්ශනයක් සිදු කරන ලෙසට හා එහි ඇති විකාශන උපකරණ, පොලිස් බාරයට ගන්නා ලෙසට නියෝග කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
 
මේ වන විට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහයෝගයෙන් පොල්ගහවෙල පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන අතර එහි සභාපතිවන්නේ ජනාධිපති ලේකම්වරයාය.
--------------------------------------

Last Update - 05 June 2018 17:32

 
ටී.එන්.එල්. රූපවානිහියට අයත් පොල්ගහවෙල විකාශනාගාරයට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව මුද්‍රා තබනු ලැබුවේ ප්‍රධාන රීති තුනක් උල්ලංඝනය කර තිබූ නිසා බව ජනාධිපති කාර්යාලයෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු කියා සිටියේය.
 
(ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පාලනයවන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේය.)
 
පොල්ගහවෙල විකාශනාගාරය පවතින ස්ථානයට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවෙන් අනුමැතිය ලබාගෙන නොමැති බවත්, එම විකාශනාගාර කුළුණේ සිට විකාශනය කරන ලද රූපවාහිනී සංඛාත සඳහා ප්‍රාදේශියව අවසර ගෙන ඇතත් ඒ සඳහා ද පොල්ගහවෙල විකාශනාගාරයට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අනුමැතිය නැතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා කීය. 
 
එසේම, ප්‍රාදේශීයවද භාවිතා කිරීමට අවසර ගෙන ඇති ධාරිතාව ඉක්මවූ විකාශනයක් අදාළ මධ්‍යස්ථානයෙන් කර ඇති බවද ඔහු කියා සිටියේය. මේ කාරණා හේතුවෙන් එම ස්ථානයට පොල්ගහවෙල විකාශනාගාරයට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සබාව මුද්‍රා තබා ඇතැයි ඔහු කීය. 
 
විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව මෙය වටලා ඇත්තා දෙසතියක කාලයක් නිරීක්ෂණය කිරීමෙන් පසුව බවද පැවසේ. ටී.එන්.එල්. රූපවානිහිය ලංකාවේ පැරණිම පෞද්ගලික ගුවන් විදුලි නාලිකාව වන අතර මෙහි හිමිකරුවන්නේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සොයුරු ශාන් වික්‍රමසිංහ මහතාය.

--------------------------------------

Last Update - 05 June 2018 16:51

TNL පොල්ගහවෙල විකාශනාගාරයට සීල් තියයි !

ටී.එන්.එල්. රූපවානිහියට අයත් පොල්ගහවෙල විකාශනාගාරය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් මුද්‍රා තබා තිබේ.

එම රූපවාහිනී සේවයේ නිල ෆේස්බුක් පිටුවෙන් අද (05දා) ප්‍රකාශ කළේ විකාශනාගාරය තුළ ඇති උපකරණ ඔවුන් රැගෙන යාමට කටයුතු කරමින් සිටින බවත් නියමිත පරිදි ගෙවීම් සිදුකර තිබියදී මෙසේ කටයුතු කිරීම පිළිකුළෙන් යුතුව හෙළා දකින බවයි.

Capture255

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top