Sathosa

Jun 06, 2018

''බහුතරයක් දෙනා අතුරුදහන් කරලා'' - OMP සභාපති කියයි (වීඩියෝ)

යුද හමුදාවට භාර දීමෙන් පසු වසර නමයකට වැඩි කාලයක් ආගිය අතක් නැති සිය සමීපතමයන් බලහත්කාරයෙන් අතුරුදහන් කර ඇති බවට ඥාතීන් දිගටම කරන චෝදනාව සත්‍යයක් බව අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලයේ (OMP) ප්‍රධානියා විසින් පිළිගෙන තිබේ.


“අතුරුදහන් වූවන් කිව්වට අතුරුදහන් කරවපු අය තමයි බහුතරයක් ඉන්නේ,” යි OMP සභාපති සාලිය පීරිස් ප්‍රකාශ කර සිටියේ ඔහුගේ ප්‍රධානත්වයෙන් මුලතිව් දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවැත්වූ රැස්වීම වර්ජනය කරමින් ඒ ඉදිරිපිට විරෝධතාවක යෙදී සිටි ඥාතීන් සියගණනක් හමුවට පැමිණෙමිනි.

“මෙතන ඉන්න අයට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි බාර වෙච්ච අයට මොකක්ද උනේ කියලා. අපි 100% ක් පිලිගන්නවා, මේ අතුරුදහන් වීම් සහ කරවීම් වල ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ බාර වෙච්චි අය පිළිබඳව තියෙන පැමිණිලි. මට ඕගොල්ලන්ට පොරොන්දුවක් දෙන්න පුළුවන් මේ බාර වෙච්චි අයගේ කාරනාවට විශේෂ ප්‍රමුඛතාවක් දෙනවයි කියන එක පැහැදිලිව කියන්න පුළුවන්.”

“ඒ ගැන ආයි දෙකක් නෑ,” යි සහතික වූ OMP ප්‍රධානියා ඒ සඳහා තමන්ට උදව් වන ලෙස ඥාතීන්ගෙන් ඉල්ලා සිටියේය.

“ප්‍රසිද්ධියේ කියන්න බැරි දේවල් තියෙනවා නම් අපිව පෞද්ගලිකව රහසිගතව දැනුවත් කරන්න පුලුවන්,” කී සභාපතිවරයා විරෝධතාවට නායකත්වය දුන් මරියසුරේෂ් ඊශ්වරී මාතාව මගින් එම තොරතුරු තමන්ට යොමු කළ හැකි බව දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා පවා සොයා නොදුන් පිළිතුරු:
යුද හමුදාවට භාර දුන් තම සමීපතමයන් ගේ ඉරණම හෙළි කරන ලෙස බල කරමින් හාරසිය පනස් දිනකට වැඩි කලක් විරෝධතා පවත්වන ඥාතීන් OMP කාර්යාලයේ හැකියාව ගැන බලවත් අවිශ්වාසය පල කරමින් අධිනීතිඥ සාලිය පීරිස්ගෙන් විමසා සිටියේ ජනාධිපතිවරයා පවා සොයා නොදුන් පිළිතුරු ඔහුට සොයා ගත හැකි වේද යන්නයි.

“කිරි දරුවා පවා ලියාපදිංචි කරලා තමයි අපිව ගත්තේ හමුදා පාලන ප්‍රදේශයට,” යි කිලිනොච්චියේ අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නායිකා යෝගරාසන් කලාරංජනී කියා සිටියාය.

ආණ්ඩුව විසින් පත් කරන ලද කොමිසම් තුනකටම තොරතුරු ලබාදී ප්‍රතිපල නොලද ඥාතීන්ගේ සැක දුරු කිරීමට වීරිය දරමින් සාලිය පීරිස් සභාපතිවරයා කියා සිටියේ තම කාර්යාලය ස්වාධීන ලෙස කටයුතු කරන බවයි.

OMP කාර්යාලය කෙරේ විශ්වාසය ඇති කිරීමට නම් අඩුම වශයෙන් හමුදාව භාරගත් සිය දෙනකු නිදහස් කර දෙන ලෙස මව්වරු සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

“රැඳවුම් කඳවුරු වල ඉන්න සිය දෙනෙක් නිදහස් කරලා පෙන්නන්න. ඊට පස්සේ ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයක මේ කාර්යාල පිහිටුවන කටයුතු වලට අපි සහයෝගය දෙන්නම්,” යයි මුලතිව් හි පුෂ්පා අම්බාල් මාතාව ප්‍රකාශ කළාය.

SarathFonseka 670px 21 01 17"දහපහළොස් දෙනකු විසින් අතිශයෝක්තියෙන් ගොතන ලද කතන්දරයක්" - ෆීල්ඩ් මාර්ෂල්කෙසේවෙතත්, යුද්ධය මෙහෙයවූ ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයා ඥාතීන්ගේ ප්‍රකාශ මෑතදී ද  ප්‍රතික්ෂේප කර තිබුනේ දහපහළොස් දෙනකු විසින් අතිශයෝක්තියෙන් ගොතන ලද කතන්දරයක් ලෙස හඳුන්වමිනි.

“යුද සමයේ සහ යුද්ධයේ අවසාන සති දෙකේදී අපි පවත්වාගෙන ගිය ඉතාම හොඳ ක්‍රමය අනුව ආරක්ෂක හමුදා වලට බාර වෙන අය වෙනුවෙන් තිබුනේ සුන්දර සැලසුමක්,” යයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල් ජසීරා රූපවාහිනියට පවසා තිබුනි.

යුද සමයේ හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් උදය පෙරේරා එම වැඩසටහනටම සහභාගිවෙමින් කියා සිටියේ “අද ශ්‍රී ලංකාවේ පවතින සන්දර්භය යටතේ කාව හරි හංගගෙන ඉන්න පුළුවන් කියලා කෙනෙක් හිතනවා නම් මනෝ වෛද්‍යවරයකු ලඟට යන්න ඕනේ,” යනුවෙනි.

එබඳු ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන OMP සභාපතිවරයා අතුරුදහන්වුවන්ගේ ඥාතීන් හමුවේ මුලතිව්හිදී ප්‍රකාශ කළේ හමුදාවට භාරවූවන්ගේ ලැයිස්තු ලබාගැනීම සඳහා දැනටමත් තමන් පියවර ගනිමින් සිටින බවයි.

“කවුරු ඒක නෑ කිව්වත් ප්‍රශ්නයක් නෑ. ඒක බරපතල ප්‍රශ්නයක්.”



හෙළි කරගනු ලබන තොරතුරු වලින් අපරාධකරුවන්ට දඬුවම් කිරීමේ බලයක් අතුරුදහන්වුවන් සඳහා වන කාර්යාලය සතුව නැති බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඥාතීන්ට දැනුම් දුන්නේය.


මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමට හැට දෙනකු පමණ සහභාගී වූ බව ගගන කළ විමසීමකදී OMP සභාපතිවරයා කියා සිටියේය.

අතුරුදහන්වුවන් සඳහා වන කාර්යාලයේ මීළහ රැස්වීම ජූලි 14 දා කිලිනොච්චියේ හා යාපනයේ පැවැත්වීමට නියමිත බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top