Jun 07, 2018

 FCID ය දයාසිරි කළ ප්‍රකාශයේ හඬපට ඉල්ලයි

අර්ජුන් ඇලෝසියස් මහතා ගෙන් මුදල් ගත් මන්ත්‍රිවරුන් පිළිබඳ සහ එම මූල්‍ය ගනුදෙනු පිළිබඳ හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතා පසුගිය මැයි 25 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට අදාළ සංරක්‍ෂිත දර්ශන ඇතුළත් සී.ඩී. පටය වහාම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලබාදෙන ලෙස ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊට අමතරව එම කතාවට අදාළව මන්ත්‍රිවරයා විසින් සභාගත කරන ලද ලිපි ලේඛනවල පිටපත්ද මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව මන්ත්‍රිවරයාගේ කතාවෙහි මුද්‍රිත පිටපත් සියල්ලද ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අදාළ කතාවෙහි සංරක්‍ෂිත දර්ශන ඇතුළත් සී.ඩී. පටය, සභාගත කරන ලද ලියකියවිලි, කතාවෙහි මුද්‍රිත පිටපත් අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත යැවීමට නියමිත බවද පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ජයසේකර මන්ත්‍රිවරයා විසින් කරන ලද එම ප්‍රකාශය පිළිබඳ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර එම තොරතුරුවලට අමතරව අවශ්‍ය වුවහොත් දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයාවද එෆ්.සී.අයි.ඩී. යේ ප්‍රශ්න කිරීම්වලට ලක්කිරීම සඳහා කැඳවීමටද හැකියාවක් ඇති බව වාර්තා වේ.

(මව්බිම)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top