Jun 07, 2018

2021 දී දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල කොළඹ !

2021 වනවිට දකුණු ආසියාවේ උසින් වැඩිම ගොඩනැඟිල්ල කොළඹ ඉදිකරමින් කොළඹ අහස්‌ කුස පරිවර්තනයකට ලක්‌කිරීමට තමන් සූදානම් බව සීමාසහිත වන් ට්‍රාන්ස්‌වර්ක්‌ස්‌ ස්‌ක්‌වෙයාර් පෞද්ගලික සමාගම (One Transworks Square (Pvt) Ltd) ෂොන් ටියැන් ඩින් හුයි සමාගම (Zhong Yian Ding Hui) සමග පවසයි.

කොළඹදී පෙරේදා (05දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙ බව ප්‍රකාශයට පත් කරන ලදී.

මහල් 92 කින් සමන්විත මෙම ගොඩනැඟිල්ලෙහි උස මීටර 376 කි. කුළුණු ත්‍රිත්වයකින් සමන්විත මෙම 'ද වන්' ගොඩනැගිල්ල කොළඹ 01, ට්‍රාන්ස්‌වර්ක්‌ ස්‌ක්‌වෙයර් හි 2021 වන විට පිහිටුවන අතර එය ද රිට්‌ස්‌ කාල්ටන් සහ ද රිට්‌ස්‌ කාල්ටන් රෙසිඩන්සීස්‌ යන ගොඩනැඟිලි දෙකින් ද සමන්විත වනු ඇත. 

ද වන් ගොඩනැඟිල්ල කාර්යාල, නිවාස, සුඛෝපභෝගී වෙළෙඳසල් සංකීර්ණයක්‌, මහල් ගණනාවකින් යුත් රථ ගාල්, උත්සව ශාලාවක්‌, ස්‌කයි බාර් සහ ව්‍යාපාර කාර්යාල ඇතුළු ආහාරපාන ගැනීම සඳහා ඇති ස්‌ථානවලින් සමන්විතය. 

හෙලිකොප්ටර් බැස්‌ස විය හැකි ලෙස එහි මතු මහල සකස්‌ කෙරේ. මහල් 80 කින් සමන්විත මීටර් 326 ක්‌ උසැති රිට්‌ස්‌ කාල්ටන් කුළුණෙහිs රිට්‌ස්‌ කාල්ටන් හෝටලය සහ ද රෙසිඩන්සීස්‌ ගොඩනැඟිල්ල ඇතුළත් වෙයි. තුන්වැනි කුළුණ මහල් 77 කින් සමන්විත මීටර් 291 ක්‌ උසැති ගොඩනැඟිල්ලකි.

නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ මූර්තියක්‌:

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ ෂොන් ටියැන් ඩින් හුයි ආයෝජන සමාගමේ සාමාන්‍යාධිකාරී සෑම් හු මහතා ප්‍රකාශ කළේ, -දකුණු ආසියාවේ උසින් වැඩිම මහල් රැසකින් සමන්විත ගොඩනැඟිල්ල කොළඹ ඉදිකිරීමත් සමගම මෙම කලාපය සමෘද්ධියේ ප්‍රතිලාභ භුක්‌ති විඳීම පමණක්‌ සිදුනොවන අතර එය නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ මූර්තියක්‌ ද වන බවයි. 

මෙම දිලිසෙන මන්දිර ත්‍රිත්වය වර්ග අඩි මිලියන 4.5 ක්‌ පුරා පැතිරෙන අතර එය කොළඹ නගරයේ ඉතා වටිනා ඉඩමක පිහිටුවන අතර එය රටේ සංවර්ධනයේ වැදගත් ජයග්‍රහණයක්‌ වෙයි. 

අපි මෙම ඉතා උස්‌ ගොඩනැඟිලිවල නිවාස සමග ලෝකයේ ඉතා අනර්ඝ තත්ත්වයේ හෝටල්වල පහසුකම් සහ සේවාවන්ද සපයමු. එමගින් ඉතා සුඛෝපභෝගී දිවිපෙවතක්‌ ගත කරමින් අනන්‍ය වූ ජීවන අත්දැකීම් ලබා ගැනීමට නිවැසියන්ට අවස්‌ථාව ලැබෙන බවද ඔහු කීවේය.

පෞද්ගලික ජීවන රටාව සහ අධික සුව පහසුව තවත් ව්‍යාප්ත කරමින් ඉතා උසස්‌ තත්ත්වයෙන් ද රෙසිඩන්සීස්‌ ගොඩනැඟිල්ලෙන් අදාළ පහසුකම් සැලසේ. ඉතා ප්‍රකට හෝටල් සන්නාම ඇතුළුව දි වන් ගොඩනැඟිල්ලෙන් ලැබෙන පහසුකම් විස්‌තර කළ ඔහු ඉතා උසස්‌ ගණයේ සේවා සමග විශේෂත්වයේ උරුමය මෙමගින් ඇතිවන බව පැවසීය. 

ද වන් ගොඩනැඟිල්ලේත් ඉතාමත් ප්‍රභූ, විශේෂිත සහ අති සුඛෝපභෝගී අත්දැකීමක්‌ විඳීමට එහි වාසය කිරීමෙන් අවස්‌ථාව ලැබෙන බවත් එමගින් නූතන සුඛෝපභෝගී භාවයේ ලක්‍ෂණ තිබෙන බවත් ඔහු සඳහන් කළේය. මෙම නිවාස දිවියේ රසිකත්වයට ගැලපෙන පරිදි සැලසුම් කොට ඇත. 

සුඛෝපභෝගී භාවය මෙහි මූලික හරය වන අතර නව රැල්ලේ ජීවන රටාවක්‌ මගින් ද මෙහි නේවාසිකයන්ට ඔවුන්ගේ ජීවිතය ඉතාමත් සැහැල්ලුවෙන් ගතකිරීමට හැකි වේ. මෙහි නව තාක්‍ෂණය මෙන්ම අධිවේගී විදුලි සෝපාන, උසස්‌ තත්ත්වයේ භාණ්‌ඩ සහ උපාංග, වායුසමීකරණ, ස්‌වයංක්‍රීය නේවාසික ප්‍රවේශ පද්ධතිය ඇතුළු සුහුරු තාක්‍ෂණය නිවාස හා වාහන හඳුනා ගැනීමේ පද්ධති හඳුන්වාදෙනු ඇත.

ද වන් ව්‍යාපෘතියේ සංවර්ධකයා වන්නේ සීමාසහිත වන් ට්‍රාන්ස්‌වර්ක්‌ස්‌ ස්‌ක්‌වෙයර් පෞද්ගලික සමාගමයි. කොන්ත්‍රාත්කරු වන්නේ සම්මානලාභී ෂොන්ටි යැන් කන්ස්‌ට්‍රක්‌ෂන් ගෲප් සමාගමයි. එම සමාගම මේ වනතෙක්‌ විශාල ව්‍යාපෘති 800 කට වැඩිසංඛ්‍යාවක්‌ නිමකොට තිබේ.

 
(දිවයින)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top