Pasidol
Sathosa
Jun 07, 2018

ගෝඨාගේ නඩුවෙන් විනිසුරන් ඉවත් වුනේ 'මොන බිය නිසා ද'? - රාජිත අසයි 

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගේ නඩු විභාගයෙන් විනිසුරන් හතර දෙනෙකු ඉවත් වුයේ මොන බිය නිසා දැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විමසා සිටියි.

අද (07) පෙරවරුවේ  බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් පරිශ්‍රයේ පැවති දුම්කොළ විරෝධී ජාතික දින උත්සවය අමතමින් එබව විමසා සිටි ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

''හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඊලග නඩු විභාගය නොවැම්බර් මාසය දක්වා කල් දමලා. විනිසුරුවරුන් 04 දෙනෙකු නඩු විභාගයෙන් ඉවත් වෙලා. 

නමුත් ලෝකයේ නඩුවක් විභාග කිරීමට නොහැකි බව ප්‍රකාශ කරමින් විනිසුරුවරුන් ඉවත් වුනේ කියුබාවේ සිටි මාෆියා නායකයා අධිකරණයට ගෙන එන විටයි. එලෙස ඉවත් වුයේ මරණ බිය හේතුවෙන්. 

නමුත් අපේ රටේ විනිසුරුවරුන් 04 ක් ඉවත් වුනේ මොන බිය නිසා ද? එයයි යථාර්ථය. ''

''අද ශ්‍රේෂ්ඨාධිකරණය කේසර සිංහ ලීලාවෙන් කටයුතු කරනවා''

අද සමහරු සමාජය ඉදිරියේ වීරයෝ වගේ කථා කරනවා. අපේ රජයේ වැරදි කියමින්. ඒකට ජනමාධ්‍ය යත් සහයෝගය ලබාදෙනවා. ඔවුන් දන්නේ නැහැ රට තිබුන හැටි. 

නමුත් වත්මන් රජය යටතේ මම අනපනත් ඉදිරිපත් කරන විට ජනාධිපතිවරයා සහයෝගය ලබාදෙනවා. 

එදා සෞඛ්‍ය අමාත්‍යවරයා දුම්කොළ සමාගම ඉදිරිපිට දී හිටපු ජනාධිපතිවරයා විසින් විත්තිකූඩුවේ නැංගුවා. නමුත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිය කථා කලේ නැහැ. විත්ති කූඩුවට වෙලා හිටියා. 

මේ රටේ නීති රීති රැසක් සකස් කරලා තිබෙන්නේ ඔය ඔබලා බනින දේශපාලනඥයින් විසින්. එම නීති රීති තමයි ක්‍රියාත්මක කරන්නේ. 

නීතිපති දෙපාර්තමේන්තුව හදන නීති නොවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් අර්ථකථන ලබාදීමට පමණයි. 

පාර්ලිමේන්තුව ගන්නා වූ තීන්දුවක් අභිබවා යාමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉඩක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුවක් අභිබවා යන්න පාර්ලිමේන්තුවට පුළුවන්. 

හිටපු ජනාධිපතිවරයා දුම්කොළ සමාගම සමග සාකච්ඡා කර එම යෝජනාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළා. 

පාර්ලිමේන්තුව විසින් ගනු ලැබූ සියයට 80 රූපමය අවවාද තීන්දුව බාල්දු කරමින් දුමිකොළ සමාගම ජය ගත්තා. පාර්ලිමේන්තුවත් බාල්දු වුනා. නමුත් අද ශ්‍රේෂ්ඨාධිකරණය කේසර සිංහ ලීලාවෙන් කටයුතු කරනවා.'' 

මෙම උත්සවයේදී විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා විසින් ලියන ලද දුම්වැටියෙන් බිදෙන හදවත් නැමැති කෘතිය සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනැමීම ද සිදු විය.

මෙම අවස්ථාවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික දුම්කොළ සහ දුම්වැටි පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකොන්, මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top