Jun 11, 2018

භූමිතෙල් 70 යි : ජනපති හා මුදල් ඇමති එකඟත්වයක්

හෙට (12) මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 31.00 කින් පහත හෙළා ලීටරයක් රුපියල් 70.00 ට අලෙවි කිරීමට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා එකඟතාව පලකර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අමාත්‍ය මංගල සමරවීර මහතා අතර ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ජාවකදී ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවට එළඹ තිබේ.

හෙට උදැසන පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට එහිදී තීරණය වී ඇත.

එසේම, භූමිතෙල් අවභාවිතව සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ජාවට බඳුන්ව තිබේ.

DIlipWedaarachchi 670px 11 06 18

''භූමිතෙල් මිල ඉහළ දැමීමට රජයට සිදුවුනේ, ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යාමත් හා බස් හා ලොරි රථ භූමිතෙල් අවභාවිත කිරීමත් නිසා යි'' - රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි

මේ අතර ඊයේ (10) තංගල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ 

ධීවර හා ජලජ සම්පත් හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා, භූමිතෙල් මිල ඉහල දැමීමට රජය තීන්දු කලේ ඇයි දැයි මෙසේ පැහැදිලිකර සිටියේය.

''ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යාමත් හා බස් හා ලොරි රථ භූමිතෙල් අවභාවිත කිරීමත් නිසාවෙනුයි භූමිතෙල් මිල ඉහළ දැමීමට සිදුවුණේ. ඒ නිසාවෙනුයි එකසැරේටම 47% කින් භූමිතෙල් මිල ඉහත දැමුවේ.

කෙසේ වෙතත් මේ හේතුව නිසා දුප්පත් ජනතාව හා ධීවර ජනතාව පත්ව ඇති අසරණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් භූමිතෙල් මිල යලි අඩු කිරීමට රජය තිනු කළා.

කෙසේනමුත් මේ ලබාදෙන භූමිතෙල් සහනය අවභාවිත කරන පුද්ගලයන් සොයා ඔවුනට දඬුවම් පැමිණ වීමටත් ඉදිරියේදී පියවර ගන්නවා. මේ සඳහා පාරිභෝගික අධිකාරිය, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහයත් ලබාගැනීමට කටයුතු කරනවා.

අසරණ දුප්පත් ජනතාවට ලබාදෙන සහනය ගසාකන පිරිස් සොයා ඔවුන් නීතිය හමුවට ගෙන ඒමට පියවර ගන්නවා. ඒ වගේම ඉදිරියේදී තවත් භූමිතෙල් මිල පහත දැමිය හැකිද යන්න පිළිබඳව සොයා බලනවා''

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top