Pasidol
Sathosa
Jun 13, 2018

ත්‍රිකුණාමලයේ මව්වරුත් OMP කාර්යාලය වර්ජනයේ Featured

ජනාධිපතිවරයා විසින් නැතැයි කියන ලද අතුරුදහන් වූ දරුවන් සොයා දීමට OMP කාර්යාලයට ඇති හැකියාව පිළිබඳ බලවත් සැකය පල කරන ත්‍රිකුණාමලයේ මව්වරුන් එම කාර්යාල නියෝජිතයන්ගේ දිස්ත්‍රික් හමුව වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයේ (OMP) දෙවන ප්‍රාදේශීය රැස්වීම අද (13 බදාදා) ත්‍රිකුණාමලයේ ඇතුල් වරාය පාරේ ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට පිහිටි හින්දු සංස්කෘතික ශාලාවේ පැවැත්වීමට නියමිතය.

වසර ගණනාවක් තිස්සේ අතුරුදහන් වී සිටින තම දරුවන්ට සිදුවූ දේ හෙළි කර ගැනීමට එම හමුවෙන් කිසිදු පලක් ඇති බවට විශ්වාසයක් නැති හෙයින් රැස්වීම් ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදෙන බව මව්වරු පවසති.

රජය විසින් රඳවාගෙන ඉන්නා අයගේ ලැයිස්තුවක් දීමට පොරොන්දුවී පසුව එය ප්‍රතික්ෂේප කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කෙරේ ඔවුන්ගෙන් බරපතල විරෝධයක් පලවිය.

“අතුරුදහන් කරවපු ළමයි රහස් කඳවුරු වලවත් කොහෙවත් නැහැයි කියලා ප්‍රසිද්ධියේ කියපු ජනාධිපති තුමා OMP කාර්යාලයක් මොන එකකට හැදුවද?,” යි අතුරුදහන් කරවුවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ප්‍රකාශිකා සෙබස්තියන් දේවී මාධ්‍යවේදීන් හමුවේ විමසා සිටියාය.

“අපිව රවට්ටපු අය හදපු මේ OMP එක ඇස් බැන්දුමක්”

මාධ්‍ය හමුවට එක්ව සිටි රාමක්‍රිෂ්ණන් ලලිතා ගේ පුතුන් දෙදෙනා සුදු වෑන් රියක පැමිණි කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇත්තේ 2008 නිදහස් සමරු දිනයේය.

“මගේ පුතාලා උස්සගෙන යන්න ආපු දෙන්නෙක් මං අඳුරනවා. එක්කෙනෙක් පාලෙයූත්තු වල අන්තෝනිමුත්තු රොබට්, අනික් එක්කෙනා මහින්ද විජයකාන්ත්.”

 “සල්ලි එපා යුක්තිය ඕනේ” :

 ඒ තොරතුරු කොමිසන් සභා තුනක් ඇතුළු රජයේ ආයතන ගණනාවකට ලබාදී පිළිතුරක් නොලද දස වසරකට පසු පිහිටුවන ලද OMP කාර්යාලයේ අරමුණ වන්දි ගෙවා ඥාතීන් අස්වසා ලන්නට යැයි කියා සිටි රාමක්‍රිෂ්ණන් ලලිතා “සල්ලි එපා යුක්තිය ඕනේ” යි අවධාරණය කළාය.

ඇගේ දරුවන් පැහැරගෙන ගිය දවසට පසුදා ආයුධ සිවිල් ඇඳුමින් පැමිණි සන්නද්ධ කල්ලියක් විසින් අතුරුදහන් කරවනු ලැබූ සිවානන්දන් ප්‍රභාකරන් ගේ මව සිවානන්දන් සුලෝචනා ද මාධ්‍ය හමුවට එක්ව සිටියාය.

අවසාන වතාවට මුලතිව්හි පැවති OMP නියෝජිත හමුව වර්ජනය කළ මව්වරුන්ගෙන් සභාපති සාලිය පීරිස් ඉල්ලා සිටියේ අතුරුදහන් වුවන් සොයා ගැනීමේ කටයුත්ත සාර්ථක කරගැනීමට තොරතුරු ලබා දී දායක වන ලෙසයි.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top