Jun 18, 2018

'අසාර්ථක ඉන්ටර්වීව් එකෙන් තෝරාගත් 5000 කට DO'

රැකියා විරහිත උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගැනීම සදහා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණය ඉතිහාසයේ අසාර්ථකම සම්මුඛ පරීක්ෂණය බව ආණ්ඩුව පවා පිළිගෙන තිබියදී උපාධිය ලබා ගත් වර්ෂය පදනම්ව රැකියා දීම පසෙක තබා අසාර්ථක සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පදනම්ව උපාධිධාරීන් 5000ක් හෝ 6000 පමණක් පළමු අදියර යටතේ සංවර්ධන නිලධාරීන් ලෙස බදවා ගැනීමට මේ දිනවල සූදානමක් පවතී.

සියලූ උපාධිධාරීන්ට අනිවාර්යයෙන් රැකියා ලබාදෙන බවට වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු දුන් අතර පසුව ප්‍රකාශ කර සිටියේ උපාධිධාරීන් 20000ක් පුහුණුවට බඳවා ගන්නා බවයි. මේ වන විට එයද අසාර්ථක තත්වයට පත්වෙමින් පවතින බව ඒකාබද්ධ රැකියාවිරහිත උපාධිධාරීන්ගේ සංගමය කියා සිටියි.

ජුනි 1දා උපාධිධාරීන් 20000ක් පුහුණුවට බඳවා ගන්නා බව මීට පෙර සදහන් කළද එය සිදු නොවූ අතර ඒ ගැන අඩුම පැහැදිලි කිරීමක් හෝ සිදුනොකළ බව ඒකාබද්ධ රැකියාවිරහිත උපාධිධාරීන්ගේ සංගමය කියා සිටියි.

ජනාධිපතිවරයා පසුගිය කාලය පුරාම ප‍්‍රකාශ කර සිටියේ සියලූ උපාධිධාරීන්ට අනිවාර්යයෙන් රැකියා ලබාදෙන බවයි. 2017 අප්‍රේල් මස 1 වැනිදා ද එවැනි ප‍්‍රකාශයක් කළ අතර මෑතක ද එවැනි ප‍්‍රකාශ කිහිපයක් කරන ලදී. නමුත් මෙතෙක් සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදීමට වැඩපිළිවෙළක් ඇති බවක් නොපෙනෙන බව ඒකාබද්ධ උපාධිධාරීන්ගේ සංගමය සදහන් කර සිටියි.

උපාධිධාරීන් 5000ක් බදවා ගැනීමෙන් පසු ඉතිරි 15000 සැප්තැම්බර් බදවා ගන්නා බවත් වාර්තා වුවද සියලු උපාධිධාරීන්ට කොපමණ කලක් බලා සිටීමට සිදුවේදැයි නොදනී.

මේ වන විට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පුරප්පාඩු 20300 ක් පවතී. අනෙකුත් අමාත්‍යාංශය හා බලන විට තවත් පුරප්පාඩු 23000ක් පමණ ඇති බව ද වාර්තාවේ. මේ අතර ගුරු පුරප්පාඩු රැසකි. ගුරු විභාග සමත්ව පත්වීම් නොලැබ උපාධිධාරීන් රැසක් ඛේදනීය තත්වයකට පත්ව සිටියි. බස්නාහිර ගුරු විභාග සමතුන් දැන් වසර හතරකට ආසන්න කාලයක් ගතවී ඇත.

පුරප්පාඩු තිබිය දී ආණ්ඩුව රැකියා දීම ක්‍රමාණුකූලව පසුපසට ඇද දමමින් සිටින බවත් ආණ්ඩුව ඡන්ද ඉලක්ක කරගෙන පුරප්පාඩු තිබියදී උපාධිධාරීන්ගේ ජීවිත හා සෙල්ලමක් පටන්ගෙන ඇති බව රැකියා විරහිත උපාධිධාරීන් චෝදනා කර සිටියි.

ඒ සෙල්ලම වහා නතර කර දැමිය යුතු බවත් ඒ සදහා සියලු උපාධිධාරීන් ජුනි 20 දා මහපාරට බැසීමට සූදානම් බව එම සංගමය වැඩිදුරටත් කියා සිටියි.

සබැඳි පුවත්

DO ඉන්ටර්වීව් එකේදී බෝයි ෆ්‍රෙන්ඩ් ගැනත් ප්‍රශ්න අහලා

''DO සම්මුඛ පරීක්ෂණය: අසාර්ථකම සම්මුඛ පරීක්ෂණයක්''

පාසල්වල ගුරුවරු නෑ- සමත් අයට පත්වීම් නෑ (ඡායා)

 

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top